(යොහාන් භාසුර)

ගෑස් බෙදාහැරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතුව පවතින බවත් නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දෙන්නේ නම් සති දෙකක් තුළ ශ්‍රී ලංකාවටම ගෑස් සැපයිය හැකි බවත් ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා අද (3) පැවසීය.

මීට පෙර දෛනිකව ගෑස් සිලින්ඩර 40,000 ක් 50,000ක් නිකුත් කළ ද අධිකරණයේ, ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික අධිකාරියේ නිර්දේශ අනුව ගෑස් පිරවීමේදී සහ බෙදාහැරීමේදී යම් ප්‍රමාදයක් සිදුවන බවත් මේ වන විට දෛනිකව  සිලින්ඩර 10,000 ක් 15,000 ක් බෙදා හරින බව ද වෑගපිටිය මහතා කීය.

ලාෆ් ගෑස් සිලින්ඩර එකතු කර නිල්පාට වර්ණයට හරවමින් සිටින සංවිධානාත්මක පිරිසක් පිළිබඳව ලැබුණු තොරතුරු පොලිස්පතිවරයාට ලබාදුන් බව කී වෑගපිටිය මහතා ඒ පිළිබඳව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා දැනුවත් කළද ඔහු ඒ ගැන සැළකිල්ලක් නොදක්වන බව ද සඳහන් කළේය.

ගෑස් මිලදී ගැනීමේදී ජනතාව මුහුණදී සිටින දුෂ්කර තත්වය ගැන මීට ඉහතදීම බලධාරීන්ට පවසා සිටිය ද ලෝක වෙළෙඳපොලේ මිල ගණන් ඉහළ යන විට දේශීය මිල ගණන්ද මිල සූත්‍රයට අනුව ඉහළ දැමීමට ඉඩ දෙන ලෙස පසුගිය වසරේ මාර්තු මස සිට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියද එයට අවස්ථාවක් නොලැබුණු බවත් වසර එකහමාරකට පමණ පසුව මිල වැඩිකරන විට සමාගම්වල පිරිවැය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබූ බව ද සභාපතිවරයා කීය.  

ප්‍රෝපේන් සහ බියුටේන් වෙන වෙනම ගෙන්වා නිසි සංයුතියට රට තුළ ගෑස් සැකසිය ලාෆ් ගෑස් සිදුකරන බවත් ශ්‍රී ලංකාවේ ගෑස් අර්බුදයට හේතුව එම සැපයුම්කරුවන්ගේ ඒකාධිකාරය මත වසර දෙකක ගෑස් සැපයුම ලබාගැනීම වෙනුවෙන් කළ මෙහෙයුමක අතුරුපලයක් බව ද වෑගපිටිය මහතා සඳහන් කළේය.