(ඩයනා උදයංගනී)

ගෑස් පිපිරීම්වලින් මිදීමට ගත යුතු කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග රැසක්, ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීමට හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුව මගින් සකස් කළ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇතැයි එම කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා පැවසීය.

එම කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම අද (20) පස්වරුවේ සිදුකෙරුණු අතර සභාපතිවරයා එහිදී මේ බව පැවසීය.

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී සිදුවීම් හඳුනාගැනීම සහ අනතුරු සඳහා මූලික හේතු යන ප්‍රධාන කාරණා දෙක ඔස්සේ පූර්ණ වාර්තාවක් සකස් කළ බව ද මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා සඳහන් කළේය.

මෑතක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ඇති ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 30 වන දින මෙම කමිටුව පත් කරනු ලැබිණි.

ඒ අනුව කමිටුව සති දෙකක කාලයක් තුළ ලිට්රෝ හා ලාෆ්ගෑස් සමාගම් දෙකෙහි ස්ථානගත පරීක්ෂාවක් සහ කරුණු විමසීම් ඇතුළුව ආයතන 11කින් කරන ලද විමර්ශනත්, ගෑම් ගිනිගැනීම් හා පුපුරායාම් සිදු වූ ස්ථාන 17කින් ලබාගත් තොරතුරු මෙන්ම විද්‍යුත් තැපෑල මගින් ලැබුණු අදහස් ද සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් දඅල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සුජීව මහගම යන මහත්වරු කටයුතු කළහ.

මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සාලිය ජයසේකර මහතාගේ සහාය ද ඊට ලබාගැනිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, තාක්ෂණ අමාත්‍යාශයේ ලේකම් ජයන්ත ද සිල්වා යන මහත්වරු සහ කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.