(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ  'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ තිබූ අතිශය විෂ රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් වත්තල ප්‍රදේශයේ දේශීය පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක වළ දැමීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී අද පැවති ශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

එම විෂ සහිත බහලුම් ගොඩබිමට ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබාදී ඇති බව ද  ඔහු පවසයි.

එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ  බහලුම් සැලැස්මට අනුව එම නෞකාව තුළ අතිශයින් විෂ සහිත ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 10 ක් පමණ ඇතුලත් බහලුම් 85  ක් තිබී ඇති බව කී පුබුදු ජයගොඩ මහතා එම කන්ටේනර් තුළ හඳුනානොගත් අතිශය විෂ රසායනික ද්‍රව්‍ය ඇතුළත් බව ද සඳහන් කළේය.

මෙම විෂ ද්‍රව්‍ය සහිත කන්ටේනර් ගොඩබිමට ගෙන ඒම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පසුගිය ඔක්තෝම්බර් මස 29 වැනිදා අවසර ලබාදී ඇති බවත් එම අවසර ලබාගෙන ඇති දේශීය සමාගමට එවැනි විෂ ද්‍රව්‍ය පිළිබඳ කටයුතු කිරීමේ බලපත්‍රයක් නොමැති බවත් ජාගොඩ මහතා කියයි.

එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ  විනාශ වූ බහලුම් තිබියදීම එම නැව මේ වන විට ස්ථානගතවී තිබෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවේම කැබලි කිරීමට සිංගප්පූරු සමාගමකට අවසර ලබාදී ඇති බව කී පුබුදු ජාගොඩ මහතා පැවසුවේ එසේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට දැඩි හානියක් සිදුවන බවත්ය.