
(අංජුල මහික වීරරත්න)
කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.
නගරයක් එහි ජීවත්වන මිනිසුන්, සතුන් ඇතුළු සියලු දෙනාටම ආරක්ෂාව සහ අයිතිය හිමි ස්ථානයක් විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්තියට අනුව ඉදිරිපත් කළ "නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්" යන අයවැය යෝජනාවට සමගාමීව ක්‍රියාත්මක වන "Life Cities" (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ජීවන නගර සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති සැලැස්ම, විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීය.
අනතුරුව පළමු අදියර යටතේ සංවර්ධනය කෙරෙන මාතර, මඩකළපුව, මාතලේ, වව්නියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන නගරවල පළාත් පාලන නියෝජිතයින් වෙත එම ව්‍යාපෘති සැලැස්ම ලබා දෙන ලදී.
"කොන්ක්‍රීට් ගොඩනැගිලි හැදූ පලියට විතරක් මිනිසුන්ගේ ජීවිත ලස්සන වෙන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කය ඊට හොඳම උදාහරණයයි. අපේ රටේ නගර ව්‍යාප්ත වුණේ නිවැරදි ක්‍රමවේදයකට නෙමෙයි, ඉතාම අවිධිමත් විදිහටයි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 44.5%ක් ජීවත් වෙන්නේ මේ අවිධිමත් ස්ථානවලයි. මේවා විධිමත් කරන්න කියලා යම් යම් කාලවලදී විවිධ ක්‍රියාමාර්ග ගත්තා. නගර ලස්සන කරන්න ඇතැම් පිරිස් නගරයෙන් ඉවත් කළා. ඒකේ ඵලවිපාක අපි අදටත් විඳිනවා. සම්ප්‍රදායික ගම සහ නගරය ගැන කතා කරනකොට නගරය හරිම සංකීර්ණයි, විවිධාකාරයි. නමුත් නගරය අයිති එක කොටසකට විතරයි කියන පදනමේ ඉදලා සංවර්ධනය කිරීම ඉතාම වැරදියි. නගරය සියලු දෙනාටම අයිතියි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd