(අංජුල මහික වීරරත්න)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදු කරන සංවර්ධන කටයුතු වලදී කොළඹ සිට  ගමේ තීරණ නොගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ව්‍යුහ කමිටු මගින් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හරහා අවශ්‍යතා අනුව සැලසුම් එවීමට කටයුතු කරන ලෙසත්,අධ්‍යාපන අමාත්‍යංශයේ සිට පාසල් දක්වා සියලු නිලධාරීන් කාර්යක්ෂමව කටයුතු කිරීමට කැපවෙන ලෙසත් අග්‍රාමාත්‍යවරිය කීවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් සමග  හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය.

පරිවේනාධිපතිවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශකවරුන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්  මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කිරීමට මෙහිදී අග්‍රාමාත්‍යවරිය  අවස්ථාව ලබා දුන් අතර විදුහල්පති වටුප් විෂමතාව, පාසල් යටිතල පහසුකම් සංවර්ධනය, ජාතික සහ පලාත් පාසල් ලෙස බෙදී තිබීමෙන් මතුව ඇති ගැටලු සහ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී නිලධාරීහු අදහස් දැක්වූහ.