
(සුජිත් හේවාජුලිගේ )
විවිධ නීතිමය ගැටලු ගණනාවක් පවතින හෙයින් ඒවා නිවැරදි කර ගන්නා තෙක් රටට ගැලපෙන පළාත් සභා ඡන්ද ක්‍රමය සකස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අප බව පළාත් සභා සඳහා නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් සභා සඳහා නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමට නීතිමය ගැටලු කිහිපයක් හරස් වී පවතින හෙයින් පළමුවෙන්ම ඒවා නිරවුල් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
සීමා නිර්ණයෙහි ගැටළු මෙහිදී ප්‍රධාන තැනක් ගන්නා බවත් එම ගැටලු නිරාකරණය කර ගැනීමට ඉදිරියේදී යම් යම් සංශෝධන
ගෙන ඒමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
පළාත් සභා සඳහා නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීම සඳහා මතුව ගැටලු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර යම් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බව පැවසූ විජිත හේරත් මහතා එම එකඟතා සමග ඉදිරියට ගමන් කර නිශ්චිත තීරණ ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර තරුණ නියෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ තාරුණ්‍ය සඳහා වන සංසදයේ සාමාජිකයන් ලබන මස මුල හමුවී සාකච්ඡා පැවැත්වීමට අදහස් කරගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.
කමිටුවේ අවසන් වාර්තාව මේ වසර අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අනුව පළාත් සභා ඡන්දය බොහෝ දුරට ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් සභා ඡන්දය පවත්වන ඡන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ලැබුණු පසු එය අධ්‍යයනය කර පළාත් ඡන්දය පැවැත්වීමට කටයුතු කරනු ඇති බවයි.පළාත් ඡන්දය කල්දැමීමට රජයේ කිසිදු වුවමනාවක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාවද පසුගියදා ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නේය.
මෙයට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ ඇතුළු තවත් පාර්ශව ගණනාවක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයට බලපෑම් කරමින් සිටිති.
පළාත් සභා නවයේ ඡන්ද වසර දහයකට වැඩි කාලයකින් පවත්වා නොමැත. මේ හේතුවෙන් සියලුම පළාත් සභාවල පාලනය පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd