(සුජිත් හේවාජුලිගේ)

කැලණි ගඟේ ජලයට රසායන ද්‍රව්‍යයක් මුසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

කැලණි ගඟෙන් ලබාගත් ජල සාම්පල කොටස් අධිකාරියේ රසායනාගාරවල මේ දිනවල පරීක්ෂාවට ලක් කෙරෙන බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම පරීක්ෂණයේ වාර්තාව ඉදිරි දිනවල නිකුත්වීමට නියමිතය.

දැනට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව කර්මාන්ත ශාලාවකට රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරියක් සෝදමින් සිටි අවස්ථාවේදී එම රසායන ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් කැලණි ගඟට මුසු වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

ජලයට රසායනික ද්‍රව්‍යක් මුසුවී ඇතැයි කියන සිද්ධිය හේතුවෙන් අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර තාවකාලිකව ක්‍රියා විරහිත කිරීම හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම (24) රාත්‍රී 11.30 සිට පැය කීපයක් අත්හිටවනු ලැබීය

මේ අනුව කැලණි ගඟෙන් ගන්නා ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ අරඔා ජලයෙහි කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු ජලය බෙදා හැරීම නැවත ආරම්භ කෙරිණ.

ජලය පැය කිහිපයක් එසේ අත්හිටුවීමෙන් කොළඹ සහ සහ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලීසියද විමර්ශන අාරම්භ කර අැත

මේ පිළිබදව අප නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ආයතන දැනුවත් කර ඇති බවයි.

මේ අතර කැලණි ගඟට අපද්‍රව්‍ය මුසු කිරීම සොයා ගැනීම සඳහා විශේෂ සංවේදක උපකරණ (Sensors ) සවිකිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීවේය.

ඒ සඳහා විදේශ ආධාර ලැබෙන බව සුසිල් රණසිංහ මහතා පැවැසීය.