(යොහාන් භාසුර)

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් ලෙස ක්‍රියාත්මක කොහුවල ගුවන් පාලම ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හංගේරියානු වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ යන මහත්වරු අද (12) පස්වරුවේ මුල්ගල් තැබූහ.

හංගේරියානු රජයේ මූල්‍ය පහසුකම් යටතේ ඉදිකරන මෙම පාලම සඳහා රුපියල් මිලියන 2648 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර එය මාස 22 කින් නිමකිරීමට අපේක්‍ෂා කරයි.

කොහුවල මංසන්දියේ සිට කොළඹ - හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරන අතර එම ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහළින් නුගේගොඩ - කළුබෝවිල මාර්ගය වෙත පිවිසිය හැකිය.

මෙම කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297 ක් සහ පළල මීටර 9.4 කින් සමන්විත වන අතර ඊට අමතරව ගුවන් පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4 ක නව මාර්ගයක් ද ඉදිකරයි.

නුගේගොඩ කලුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීමට නව ආලෝක සංඥා පද්ධතියක් ද ස්ථාපිත කිරීමට නියමිත බව මහාමාර්ග අමාත්‍යංශය කියයි.

ඡායාරූපය:

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හංගේරියානු වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ යන මහත්වරු කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබූ අවස්ථාව.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)