(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම පර්යේෂණ ගොවිපොළ වල දෛනික වැටුප් යටතේ සේවය කරන කම්කරුවන්ගේ  දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පර්යේෂණ ගොවිපොළ වල දෛනික වැටුප් පදනම යටතේ සේවය කරන කම්කරුවන්ට දැනට ලබා දෙන දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත්, මේ නිසා  පර්යේෂණ ගොවිපොළවලට කම්කරුවන් හිඟවී ඇතැයි  කෘෂි නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

කම්කරු හිඟය නිසා බතලගොඩ පර්යේෂණ ගොවිපොලේ ඇතැම් ස්ථානවල වී අස්වනු නෙලා ගැනීමට නොහැකි වී ඇතැයි ද නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

මෙම දීමනාව අඩු තරමින්  සියයට 50කින් වත් ඉහළ දැමීමට හැකිනම් ගොවිපොළවල කම්කරු ගැටළුව විසඳාගත හැකි යැයි නිලධාරිහු පෙන්වා දුන්හ.