(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ ඉහළ යාමක් යළිත් දක්නට ලැබෙන බවශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය.

පසුගිය කාලයේ කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ අඩුවක් දක්නට ලැබුණු අතර එම කාලයේදී සතියකට වාර්තා වූයේ කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් එක් අයකු හෝ දෙදෙනකු වැනි සංඛ්‍යාවක් බව වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට එම සංඛ්‍යාව සතියකට 5ක් 6ක් දක්වා ඉහළ ගොස් ඇතැයි හෙතෙම කීවේය.

මේ වන විට ගැබිනි මවුවරුන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බැවින් ආසාදිත ගැබිනි මවුවරුන් අතර අසාධ්‍ය තත්වයේ පසුවන කිසිවකුත් නැතැයි කී වෛද්‍යවරයා කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන සති 12ක් ගතවූ පසු බූස්ටර් මාත්‍රාව ද ලබාගන්නැයි ගැබිනි මවුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.

පසුගිය කාලයේදී ජනතාව සෞඛ්‍ය නිර්දේශ නොතකා කොවිඩ් තත්වය අමතකර කර කටයුතු කිරීම නිසා මේ වන විට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ද වෛද්‍ය සනත් ලැනරෝල් මහතා කීවේය.