(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුලියට නිවසක් ලබා ගැනීමේ මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවෙස් හිමිකාරිය ට පිහියක් පෙන්වා  බිය ගන්වා  පහරදී තුවාල සිදුකර අනතුරුව නිදි පෙති පොවා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ කොල්ල කෑ කාන්තාවන් දෙදෙනෙකු  ඇතුළු පුද්ගලයන්  පස් දෙනෙකු  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි

අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේදී එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් වන බවත් පොලිසිය සඳහන් කරයි

ඉකුත් හත් වෙනි දින තලංගම පොලිස් ස්ථානයට වාර්තා ව තිබූ  මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ පේරාදෙණිය පිළිමතලාව හා දොම්පේ ප්‍රදේශවල දී ය

 එම සැකකරුවන් මීට වසරකට පමණ ඉහතදී පැමිණිලිකාරිය ට අයත් කඩ කඩකාමරයක් කුලී පදනම මත ලබා ගෙන ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත

කොල්ල කන ලද රන් භාණ්ඩ වලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා තවත් කොටසක් පේරාදෙණිය ප්‍රදේශයේ උකස් ආයතනයකට උකස් කර මුදල් ලබාගෙන ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත