(අංජුල මහික වීරරත්න)

වගා හානි වන්දි ලබා දෙන්නේ රජයෙන්  දුන් කාබනික පොහොර භාවිත කිරීමෙන් අස්වැන්නේ යම් අඩුවක් වී තිබෙන බව පරික්ෂණවලදී ඔප්පු වුවහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද  (3)පැවසීය.

චීනයේ පොහොර නිෂ්පාදන සමාගමකින් මෙරටට රැගෙන ආ කාබනික පොහොර නැවට වන්දි ගෙවන බවට ඇතැමුන් කරන ප්‍රකාශ සාවද්‍ය බව ද වන්දි ගෙවීමට රජය  වරදක් සිදු කර නැති බව ද අමාත්‍යවරයා කීවේය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසූයේ  ජාතික පොහොර ලේකම් කාර්යාලය නව පරිශ්‍රයක ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය.

 සෙත්සිරිපාය දෙවන අදියරේ 13වන මහලේ පොහොර ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ගේ  සහභාගීත්වයෙන් අද  (03) සිදු කෙරිණි. 

 ජාතික පොහොර ලේකම් කාර්යාලයට පෙරට වඩා වගකීම් රැසක් පැවරෙන බැවින් ඒ වගකීම් ස්වාධීනව ඉටු කීරිම සඳහා ඉඩකඩ සහිත කාර්යාලයක අවශ්‍යතාව මතුව තිබු නිසා නව කාර්යාලය ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීවෙි හරිත කෘෂිකර්ම වැඩසටහන සාර්ථක කර ගැනීමේදී ⁣ජාතික පොහොර ලේකම් කාර්යාලයට පැවැරෙන වගකීම් අප්‍රමාදව ඉටු කිරීමට නව පොහොර ලේකම් කාර්යාලයට හැකියාව ලැබෙනු ඇති බවයි.