(සුජිත් හේවාජුලිගේ)

කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර එවැනි සිද්ධියක් නොවූ බවට සුදුහුණු ගෑ බව කියන රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු ප්‍රධානීන් එම තනතුරු වලින් වහා ඉවත් කළ යුතු බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කාරක සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කරති.

ඔවුන් ඉවත් නොකර පරීක්ෂණ පැවැත්වීමෙන් කිසිදු සාධාරණයක් ඉටු නොවන බවද ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ එම නිලධාරීන් තනතුරු වල තබාගෙන පරීක්ෂණ කළහොත් ඒවාට අනිවාර්යයෙන්ම බාධා එල්ල විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පසුගිය සතියේදී පත් කරනු ලැබීය.

මෙම විශේෂ කාරක සභාවේ සභාපති ලෙස අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පත් කරනු ලැබ සිටී

එහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ අනුර කරුණාතිලක, චතුරංග අබේසිංහ, සුනිල් වටගල, අක්‍රම් ඉල්ලයාස්, දයාසිරි ජයසේකර , අජිත් පී පෙරේරා ඩී වී චානක, මුජිබර් රහුමාන්, නජිත් ඉන්දික,මයිල් වාගනම් ජෙගදීශ්වරන් සහ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු වෙති.

අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ ආන්දෝලනයට ලක්ව තිබෙන රේගුවෙන් නිදහස් කළ ප්‍රශ්නගත බහලුම්වල තිබුණේ ආනයනකරුවන් රේගුවට ප්‍රකාශ කළ භාණ්ඩ පමණක් බවයි.

එම බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියැකියවිලි පරීක්ෂා කිරීමට පියවර ගත් බවත් කිසිදු නීති විරෝධී දෙයක් බහාලුම් තුළ අන්තර්ගතව නොතිබූ බවත් අරුක්ගොඩ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.