(සුමිත් පොතුපිටිය)

පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාල පැමිණිලිකාර ගිලන් රථ රියදුරු සහ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන්  ගිලන් රථ රියදුරු සහ එක් සැකකරුවකු දින 7 ක් රඳවා ප්‍රශ්න කිරීමට පානදුර වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් රුද්‍රිගු මහතා අද නියෝග කළේය.

අධිකරණයට ඉදිරිපත් කළ අනෙක් සැකකරු දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

කළුතර උතුර, තොටුපොළ පාරේ පදිංචි ගිලන්රථ රියදුරු සහ පානදුර , මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි වෙඩි තැබීමට යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි පුද්ගලයකු වෙනුවෙන් රැඳවුම් නියෝග ලබාදෙන ලදී .

ඉකුත් ජනවාරි 27 දා දහවල් ගැබිනි කාන්තාවක පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිට පානදුර මූලික රෝහල වෙත රැගෙන එමින් සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනකු පානදුර මූලික රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මග හරස් කොට ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට උත්සාහ දරා තිබුණි .

ඒ අනුව කළුතර අපරාධ කොට්ඨාසය විසින් වින්දිත ගිලන් රථ රියදුරුගෙන් ලද ප්‍රකාශ මත ඔහු වසරකට අධික කාලයක සිට දිවයිනේ ප්‍රදේශ රැසක සිට මත්කුඩු කිලෝ සියයකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධව කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ.නයනජිත් සහ සැරයන් ඩී.එම්. ගුණේන්ද්‍ර (55301) යන මහත්වරුන් අධිකරණයට කරුණු වාර්තා කළ අතර තවදුරටත් ප්‍රශ්න කිරිමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා රැදවුම් නියෝග ලබාදෙන ලදී .

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සන්තකයේ තිබී විදේශ රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් ද පොලිසිය සොයාගෙන ඇති බවත් , තවත් සැකකරුවකු සතුව ලක්ෂ ගණනාවක මුදල් සංචාරනයවූ බැංකු පාස්පොත් සොයාගත් බව සහ සැකකරුවන්ගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී ජාවාරම් වලට සම්බන්ධ බවද පොලිසිය ගරු අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදී .