(සුජිත් හේවාජුලිගේ)

ටැන්සානියානු සංචාරයෙන් පසු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට නියමිතව ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය.

බරපතළ නීති ප්‍රශ්නයක් හේතුවෙන් කතානායකවරයාට එම ධූරයේ දැරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි නීති අංශවලින් වාර්තාවේ.

මේ වසරේ දෙසැම්බර් මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කෝමසාරිස් චේතිය ගුණසේකර මහතාගේ නිල කාලය අවසන් වෙයි. ඊට නව කොමසාරිස්වරයකු පත් කර ගත යුතු හෙයින් ඊට අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත. නිල බලයෙන් ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය දරන්නේ වර්තමාන කතානායකවරයාය.

කතානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් පවත්වන හෙයින් තමන්ට එරෙහි පරීක්ෂණයක් පවත්වන ආයතනයකට අදාළ තීරණ ගන්නා අායතනයක කොමසාරිස්වරයකු පත් කිරීමේ නිල කටයුත්තේදී ළබැදියාවන් අතර ගැටුමක් නිර්මාණය වන බව නීති අංශ පවසයි.

එවැනි කෙනෙකු ඊට සම්බන්ධ නොවිය යුතු බවත් එය අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අල්ලස් දූෂණ පනතේ වගන්ති අංක 107(1) සහ (2) හි සඳහන්වේ. එවැනි වරදකට වරදකරුවන් තැනැත්තකට වසර හතකට නොවැඩි සිර දඬුවමක් සමග රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද නැත්නම් එම දඩුවම් දෙකමද නියම කිරීමට මහාධිකරණයට නීතිමය බලය ඇතැයිද පැවසේ.

මෙයට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තවත් සංශෝධන යෝජනාවක්ද ඉදිරි දිනවල සම්මත කර ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට කතානායකවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

මේ අතර අල්ලස් විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක කතානායක ධූරයේ රැඳී සිටිය නොහැකි බවට මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මතු කරන වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් ලේකම් මණ්ඩලයෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවා ඇතැයි කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා බීබීසී සේවාවට ප්‍රකාශ කර ඇත.

එසේම ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියද එම සේවාවට දැනුම් දී ඇත.

මේ රජය බලයට පත්වීමෙන් පසු පත් කෙරැණු අශෝක රංවල කතානායකවරයාද අධ්‍යාපන සහතික පිළිබද ප්‍රශ්නයක් මත එම තනතුරැන් ඉල්ලා අස්විය.