(ඉන්දිකා රාමනායක)

වාහනයක් මිළදී ගැනීම සදහා පුනරින් පරමන්කිරායි ප්‍රදේශයට ගොස් සිටි කරවල ව්‍යාපාරික කාන්තාවකට තියුණු ආයුධ පෙන්වා ඇය සතුව තිබු රුපියල් ලක්ෂ 13 ක මුදලක් කොල්ල කෑ සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය පවසයි.

මෙම ව්‍යාපාරික කාන්තාව හදුනාගත් පුද්ගලයකු මාර්ගයෙන් වාහනයක් මිළ දී ගැනීම සදහා ඉහත මුදල සමග සිය පුතා සහ දියණියන් දෙදෙනා සමග  කිලිනොච්චි ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය පවසයි.

කාන්තාව ඇගේ හිතවතා වු සැකකරු සමග  වාහනය මිළදී ගැනීම සදහා පුනරින් පරමන්කිරායි ප්‍රදේශයට ගොස් ඇති බවත්, ඒ ගමන සදහා සැකකරුගේ මිතුරන් පස් දෙනකුට සහභාගි වී ඇති බවද පොලිසිය පවසයි.

පැමිණිලිකාරියට හිතවතා වාහන පෙන්වන අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ව්‍යාපාරික කාන්තාවගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර ඇය සතුව තිබු රුපියල් ලක්ෂ 13 ක මුදල සහිත බෑගය කොල්ල කා පලාගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලක අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා පැමිණිලිකාරියගේ හිතවතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව කොල්ලයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකරු, ව්‍යාපාරික කන්තාවගේ හිතවතා බවත්, ඔහු විසින් මෙම කොල්ලය මෙහෙයවා ඇති බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.