
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි 17 ක් වටිනා කිලෝ ග්රැම් 08 යි ග්රැම් 500 ක් බරැති රත්තරන් තොගයක් , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු, කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (30) දින උදෑසන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය .
මොවුන් උදෑසන 07.40 ට ඕමානයේ මස්කට් නුවර සිට , ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මේ අතරින් කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුවළක් සහ 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තම භාණ්ඩ තබාගෙන යන ට්‍රොලි රථය තුළ ඉතා සූක්ෂම ලෙස සගවා ගෙන කිලෝ ග්රැම් 07 යි ග්රැම් 500ක් බරැති රත්තරන් තහඩු 03ක් නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබුණි .
එහිදී මෙම 50 හැවිරිදි පුද්ගලයා මෙම රත්තරන් තහඩු, ගුවන් තොටුපළ ට්‍රොලි රථයේ සූක්ෂම ලෙස සැගවීමට කටයුතු කළ පුද්ගලයා බවට රේගු නිලධාරීන් කරුණු අනාවරණය කර ගෙන තිබේ.
මීට අමතරව කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තම සිරුරේ, ගුද මාර්ගයේ සගවා ගෙන කිලෝ ග්රැම් එකක් පමණ බරැති ස්වර්ණාභරණ තොගයක් සහ රන් බිස්කට් හතරක් නීතිවිරෝධී ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබුණි.
මොවුන් සියලු දෙනාම කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට ගමන් කරමින් සිටියදී , මොවුන් ගමන් කරමින් සිටි විලාසයේ වෙනසක් පෙන්නුම් කිරීම නිසා , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මේ වනවිට මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd