(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (State Pharmaceuticals Corporation of Sri Lanka - SPC) 2025 වසරේ සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂී ප්‍රගතියක් වාර්තා කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2025 වසරේ ප්‍රගති සංක්ෂිප්ත වාර්තාවට අනුව 2024 ට සාපේක්ෂව, 2025 වසරේ ආදායම් බදු සහ භාණ්ඩාගාර බද්ද හරහා රජයට ලබාදුන් දායකත්වය රුපියල් මිලියන 1,118 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 173% ක වර්ධනයක් සනිටුහන් කරන බව ද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පෙන්වා දෙයි.

ඉතිහාසයේ පළමු වතාවට, DHS supplies සැපයුම් සඳහා ඉන්ඩෙන්ට් නිකුත් කිරීම හරහා 2025 වසර සඳහා වාර්ෂික අරමුදල් වෙන්කිරීමෙන් 100% ක උපයෝජනයක් ලබා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකි වී ඇති අතර, ජීවනී නිෂ්පාදන (ORS) 36% කින් වර්ධනය වූ බවත්, පසුගිය වසරට (2024) සාපේක්ෂව ජීවනී නිෂ්පාදන අලෙවි ආදායම (ORS) 26% කින් වැඩි වී ඇති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පෙන්වා දෙයි.

2024 ට සාපේක්ෂව ශ්‍රි ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල ආදායම ද 09% කින් වර්ධනය වී ඇති අතර, එහිදී කිරිබත්ගොඩ, නාරාහේන්පිට, කෑගල්ල, කල්මුනේ සහ මඩකලපුව යන ප්‍රදේශවල නව ඔසුසල ශාඛා 05 ක් පිහිටුවීම සහ අඛණ්ඩ කාර්ය සාධනයේ වැඩිදියුණු කිරීම් සමඟින් බොහෝ අලෙවිසැල් ලාභදායී වී ඇත.