(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඩොලර් ප්‍රශ්නය නිසා ඖෂධ කිහිපයක  හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල  හිඟයක් පැවතුණු  බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම හිඟය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ හතරක් ඉදිරියේදී  ලැබීමට නියමිතව ඇතැයිද  ඔහු කීවේය.

චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ ඖෂධ නියාමන අධිකාරී පනත පිළිබඳ විවාදයේදීය.

හිඟ ඖෂධ ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමඟ සෘජු සාකච්ඡා අරඹා ඇතැයිද  රාජ්‍ය  අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත සියල්ල යළි ස්ථාපනය කර ඇති බවත්  එම දත්ත නිවැරදිව ස්ථානවල තැන්පත් කිරීමට කටයුතු කරගෙන යන බවත් හෙතෙම  සඳහන් කළේය.

ජනාධිපතිවරයා එන්නත්කරණය සාර්ථක කර ගැනීම සඳහා ගෙනගිය වැඩපිළිවෙල අතිවිශිෂ්ට බව පැවසූ ජයසුමන මහතා මෙසේ කටයුතු කරද්දිත් රටේ බොහෝ දෙනා නරක පමණක් දැකීම ඛේදජනක කාරණයක් බවද සඳහන් කළේය.

එන්නත් පිළිබඳව ගැටලු පවතී නම් තමා ඕනෑම අයකු සමග ඒ ගැන විවාද කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් කීවේය.