(සුජිත් හේවාජුලිගේ )

රටේ ඔමික්‍රොන්  රැල්ලක්  ආකාරයට පැතිරෙනු ඇතැයි   විශ්වාස කළ නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ  සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ  ප්‍රධානී  ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

එන්නත්කරණ  වැඩපිළිවෙළ සාර්ථකව  ක්‍රියාත්මක වන හෙයින්  එවැනි තත්වයක් ඇති නොවනු ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔමික්‍රෝන්වලින් ගැලවීමට නම්  බූස්ටර් එන්නත් මාත්‍රාව  කඩිනමින් ලබා ගැනීම වැදගත් බව පැවසූ ජීවන්දර මහතා සෞඛ්‍ය නීතිද පෙර පරිදි දිගටම අනුගමනය කළ යුතු බව ප්‍රකාශ කළේය.

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන්  කීප දෙනෙකු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇතැයි  මාධ්‍ය වාර්තා පළවී ඇති බවත්  ඒවා  තම අංශය සොයාගත් ආසාදිතයන් 41 දෙනා අතර සිටින අය මිස අලුතින් හමුවූ අය නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

දැනට මෙරටින් වාර්තා වී ඇත්තේ ඔමික්‍රෝන්  ආසාදිතයන්  45 දෙනකු පමණක් බවද ජීවන්දර මහතා පැවසුවේය.

මේ අතර  ඔමික්‍රෝන්  ආසාදිතයන් සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ වටයක් ලබන සතියේ මුල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ආචාර්යවරයා ඒ සඳහා ජෛව පටල සාම්පල එකතු කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසින්  මෙයට පෙර ඔමික්‍රෝන් ආසාදිතයන්  41 දෙනකු සොයා ගනු ලැබුවේ සැකකටයුතු ජෛව පටල  සාම්පල 176ක් ජාන අනුක්‍රමණ පරීක්ෂණ වලට  භාජන කිරීමෙනි.

මේ අතර ජාන අනුක්‍රමණ පරීක්ෂණ සාර්ථකව කිරීම සඳහා එම අධ්‍යයන අංශයේ පහසුකම් පුළුල් කර ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.