
(සුජිත් හේවාජුලිගේ )
උත්සව සමයේදී දෙස් විදෙස් සංචාරකයන් වාර්තාගත පිරිසක් නුවරඑළියට පැමිණීම නිසා එහි ලොකු කුඩා හෝටල් හිමියන්ගේ සහ වෙළෙදුන්ගේ අතමිට මෙවර අන් කවරදාකටත් වඩා සරුවූ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ලංකාදීපයට පැවැසීය.
නුවරඑළියේ හෝටල් කාමරවලින් සියයට 75ක් පමණ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ගිය බවද හෙතෙම සඳහන් කළේය.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නුවරඑළියේ හෝටල් හිමියන් සහ විවිධ වෙළෙඳුන් මෙවර උත්සව සමයේ දී පොදුවේ උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 5 කට අධිකය.
නුවරඑළියට මෙවර උත්සව සමයේදී දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණීම නිසා බොහෝ මාර්ගවල අධික තදබදයක්ද ඇතිවූ බව පැවසූ නන්දන ගලබඩ මහතා මේ තත්වය නිසා රථ වාහන හැසිරවීමට අමතර පොලිස් නිලධාරීන් කණ්ඩායම් යෙදවීමට සිදුවූ බවද සඳහන් කළේය.
නුවරඑළියට තවමත් දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවද ඔහු පැවසුවේය.
නුවරඑළියට මෙවර වැඩිපුරම පැමිණ ඇත්තේ දේශීය සංචාරකයන් බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා කොවිඩ් සමග නිවෙස්වලට කොටුවී සිටි ජනතාව සිය මානසික සුවය සඳහා පැමිණීමට තෝරාගත් ස්ථාන අතර නුවරඑළිය විශේෂ බවද ප්‍රකාශ කළේය.
සංචාරකයන් කොපමණ පැමිණියත් සෞඛ්‍ය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස සියලු අංශවලට උපදෙස්දී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට බැන බැන කන්නවත් සල්ලි නැහැ කිව්වට... ලංකාවේ සල්ලි කාරයෝ ගොඩක් ඉන්නවනේ...
මේකෙ වෙනදාට කන්න නෑ කියලා වැලපෙන සෙට් එකත් නුවරඑළි ගිහිල්ලද කොහේද?