
ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය ඉරාන යුද නෞකාවේ දිවි ගලවා ගත් පිරිස සහ දැනට ශ්‍රී ලංකා භාරයේ පසුවන අනෙක් ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලය නැවත ඉරානයට භාර නොදෙන්නැයි ඇමරිකාව, ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර රහස්‍ය ලේඛනයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.
ඉකුත් දා ගාල්ල වරාය නගරයට නාවික සැතපුම් 19ක් පමණ දකුණින් වූ ඉන්දීය සාගර කලාපයේදී ඇමරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින්, IRIS ඩේනා නමැතකි ඉරාන යුද නෞකාව ගිලී ගිය අතර, එහිදී ඉරාන නාවිකයෝ බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ තිස් දෙදෙනකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.
එම සිදුවීමෙන් පැය කීපයක් යද්දී, ඇන්ජින්වලට හානි සිදුවී, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ අතරමංව සිටි IRIS බුෂේර් නම් ඉරාන නෞකාවේ සිටි 208 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ගොඩබෑමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මානුෂීය වගකීමක් ලෙස සලකා මෙම පිරිස භාර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ බවයි.
එසේ වුවත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනී ජේන් හොවෙල් ශ්‍රී ලංකා රජයට අවධාරණය කර ඇත්තේ, මෙම රැඳවුම්කරුවන් ඉරානය විසින් ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම වැළැක්වීම පිණිස ඔවුන්ව නැවත ඉරානයට පිටුවහල් නොකළ යුතු බවය. එසේම, මෙම පිරිස අතරින් ඉරාන රජයට එරෙහිව දේශපාලන රැකවරණ ලබා ගැනීමට (Defection) කැමති පිරිසක් සිටීද යන්න පිළිබඳව ද අවධානය යොමුව ඇති බව අදාළ වාර්තා පවසයි.
මෙම සිදුවීමත් සමඟ කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර සබඳතා දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.
මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙනයෑම සඳහා ඉරාන රජය කළ ඉල්ලීමට මෙතෙක් ස්ථිර කාල රාමුවක් ලබා දී නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසා ඇත.
(ඩේලි මිරර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd