(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට බදු ඔප්පුවක් නොමැතිව අක්කර හයක ඉඩමක් පවරා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  කෝප් කමිටුවේ දැඩි අවධානය යොමුවිය.

මෙම අක්කර 6ක ඉඩම් ප්‍රමාණය වෙනුවෙන් අයකරගත යතු රුපියල් එක් කෝටි  විසි ලක්ෂයකට ආසන්න මුදල අයකරගැනීම සඳහා සති දෙකක් ඇතුළත නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස කෝප් කමිටුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නිර්දේශ කළේය.

ඒ සඳහා ගිවිසුම් ගත නොවීම සහ තක්සේරු වටිනාකමින් සියයට හයක් වෙනුවට  සියයට හතරක්  අයකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂාකරතොරතුරු  වාර්තා කරන ලෙසට කෝප් කමිටුව  දැනුම් දුන්නේය.

මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අතුරුදහන්වූ ලිපිගොනු රැසක් පිළිබඳවද  කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරිණ.

මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අතුරුදහන් වූ  ඉඩම් පිළිබඳ  ලිපිගොනු විස්තර විගණකාධිපතිවරයාට  ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව එම කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

කෝප් කමිටුව මෙසේ දැනුම් දුන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට එහි ප්‍රධානීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.