(අංජුල මහික වීරරත්න)

ඇමෙරිකා එක්සත් ජනපදය වෙත තැපැල් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස විශ්ව තැපැල් සංගමය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 -08- 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි එතෙක් පැවති ඇමෙරිකානු ඩොලර් 800 ට හෝ ඊට අඩු වටිනාකමක් ඇති භාණ්ඩ සඳහා තීරු බදු රහිත අවම නිදහස් කිරීම ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තීරණය කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 100 හෝ ඊට අඩු වටිනාකමක් ඇති වාණිජ නොවන හුදෙක් ත්‍යාග හා ලේඛන සහ විශේෂ ව්‍යතිරේකයන්ට අදාළ තැපැල් භාණ්ඩ හැර, එරටට යවනු ලබන භාණ්ඩ අඩංගු අනෙකුත් සියලුම ජාක්‍යන්තර තැපැල් අයිතම ඒවායේ වටිනාකම නොසලකා රේගු බදු ගෙවීමට යටත් වේ.

 එමෙන්ම, අදාළ තීරු බදු නොගෙවා ඇමෙරිකා එක්සත් ජනපදයට යවා ඇති තීරු බදු සඳහා යටත් වන ජාත්‍යන්තර තැපැල් අයිතම සම්බන්ධයෙන් එරට තැපැල් පරිපාලනය විසින් වග කියනු නොලැබේ. ඒ හේතුවෙන් විද්‍යුත් වාණිජ්‍යය (e - Commerce) හරහා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත තැපැල් මඟින් භාණ්ඩ යවනු ලබන මෙරට ව්‍යාපාරිකයින්ට දැඩි බලපෑමක් එල්ල වී ඇත. එම තත්ත්වයට පිළියමක් වශයෙන් විශ්ව තැපැල් සංගමය විසින් විශේෂ මෘදුකාංග යෙදවුමක් හඳුන්වා දී ඇති අතර එමඟින්, අදාළ තැපැල් භාණ්ඩ සඳහා අය කරනු ලබන තීරුබදු සහ අනෙකුත් ගාස්තු, එකී තැපැල් භාණ්ඩ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ලැබෙන විට ප්‍රේෂණය කිරීමේ පහසුකම ඇමෙරිකා එක්සත් ජනපදයේ රේගු දේශ සීමා ආරක්ෂණ ආයතනයේ (Customs and Border Protection) බලපත්‍ර ලාභී ආයතනයක් වන ZONOS ආයතනය හරහා සලසා දී තිබේ. ඒ අනුව, එම ක්‍රියාවලියට අදාළව විශ්ව තැපැල් සංගමය විසින් නිකුත් කරනු ලැබ ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.