(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව දින දෙකක් පුරා ඉරානයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් 14ක් මියගොස් තවත් 78ක් තුවාල ලබා ඇතැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඉරානයට එල්ල වූ ප්‍රහාර මාලාවට පිළිතුරු ලෙස කුවේටයේ, බහරේනයේ සහ කටාරයේ හමුදා ඉලක්ක වෙත ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය ප්‍රහාර එල්ල කර තිබිණි.

එහිදී කටාරයේ ඇමෙරිකානු හමුදාවට අයත් සැටලයිට් ඇන්ටනා පද්ධතියක් ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාර එල්ල කර ඇත. කුවේටයේ ස්ථාපිත කර ඇති ඇමෙරිකානු පේට්‍රියට් මිසයිල නාශක පද්ධතිය ඉලක්ක කරමින් ඉරානය ප්‍රහාර එල්ල කර ඇති අතර බහරේනයේ ඇති ඇමෙරිකානු හමුදා ඉන්ධන ගබඩා වෙත ඉරානය ප්‍රහාර එල්ල කර තිබේ.

ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ඊයේ(09) දිනද අඛණ්ඩව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රහාර එල්ල කර තිබූ අතර බහරේනයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත පමණක් ඉරාන හමුදාව තුන්වතාවකට වැඩි වාර ගණනක් ප්‍රහාර එල්ල කර ඇත.

ඇමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මෂාඩ් නගරය වෙත දිවයන දුම්රිය මාර්ගයට හානි වී ඇති අතර මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය ඊයේ(09) එම නගරයේදී අවසන් වීමට නියමිතව තිබිණි. දුම්රිය මාර්ගයට ප්‍රහාර එල්ලවීමත් සමග එහි හිරවූ මගින් බස් රථ මගින් මෂාඩ් නගරය වෙත යැවීමට කටයුතු කර බවද පැවැසෙයි.

දෙදින තුළදී දකුණු ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඇති හමුදා ඉලක්ක 90ක් වෙත ප්‍රහාර එල්ල කර තිබූ අතර ඉන් ඉලක්ක 80 ක් වෙත පළමු දිනයේ ප්‍රහාර එල්ල කර තිබිණි.

ඇමෙරිකානු හමුදාව ඊයේ(09) දිනද ඉරාන හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කර තබා ගැනීම සඳහා එම ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු හමුදා මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම ප්‍රහාරයන්ගේ වීඩියෝ මුදාහැරීමටද එහිදී කටයුතු කර තිබිණි.