(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම රෝහල අසළ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයක් අතරතුරදී ආරක්ෂිත බැම්මකින් බිමට වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ , ගොඩගම පැල්පොලවත්ත අංක 59 හි පදිංචි රත්නායක මුදියන්සේලාගේ දයාරත්න නමැති (66)  හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයා බිරිඳ හා ඥාතීන් සමඟ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී ඇති අතර එහිදී මිතුරන් පිරිසක් සමග සිට රථ ගාලේ නවතා තිබූ වාහනයක් පරික්ෂා කිරීම සඳහා රථ ගාල දෙසට ගොස් ඇතැයි පැවසේ.

උත්සව ශාලාව උස් භූමියක පිහිටා ඇති අතර රථගාල පහලින් පිහිටා තිබෙන අතර, ඒ අතර මැද පිහිටා ඇති අඩි පහක් පමණ උසින් පිහිටි ආරක්ෂිත බැම්ම අසලට විත් රථ ගාල දෙස බලා සිටිද්දී  සිරුරේ සමබරතාවය බිදී  ආරක්ෂිත බැම්මෙන් පහළට වැටී  මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ දී බිරිඳ ඇතුළු ඥාතීන් උත්සව ශාලාව තුළ ආහාර ගනිමින් සිට ඇති බව පැවසේ. අනතුරිම් මියගිය පුද්ගලයාගේ හිස කොන්ක්‍රීට්  පොළොවේ වැදී බරපතළ තත්ත්වයෙන් පසුවූ අතර ක්ෂණිකව ඥාතීන් එක්ව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.