(නිමල කොඩිතුවක්කු)

තම නොහැකියාව, රට මුහුණ දී ඇති අර්බුද සහ වංචා, දූෂණ  වසන් කිරීමට  ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා දමා  ඒකාධිපති ගමනක  නිරතවන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.

රටට එරෙහිව ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වැඩපිළිවෙළට එරෙහිව  පෙළගැසීමට එක් වන්නැයි ජනතාවට ආරාධනා කර සිටින බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

"ජනාධිපතිවරයා හදිස්සියේම පාර්ලිමේන්තු සැසිවාරය කල් දමා තිබෙනවා. එවැනි කාර්යභාරයක් සිදු කරන්නේ විශේෂ අවශ්‍යතාවන් වල පමණයි. කිසිදු සාධාරණ යුක්ති සහගත කාරණයක් පෙන්වා දෙන්නේ නැතුව පාර්ලිමේන්තු සැසිවාරය හදිසියේම කල් දැමීම හරහා රටේ විශාල සැකයක් අවිනිශ්චිතතාවයක් ගොඩනැගෙනවා.

පාර්ලිමේන්තු සැසිවාරයක් කල් දැමීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ එතෙක් සාකච්ඡාවට ගත් බොහෝ කාරණා කල් යන එක සිදුවෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කාරක සභාවල සාකච්ඡා වූ දේවල් සම්පූර්ණම ඇනහිටිනවා. කේප් කමිටුව කෝපා කමිටුව රජයේ පොදු ව්‍යාපාර රජයේ ගිණුම් කාරක සභාව සහ අනෙකුත් සියලුම කාරක සභාවල ක්‍රියාකාරිත්වයන්, උපදේශක කාරක සභා ව්‍යවස්ථානුකූල ‍යවස්ථාදායක සභාවේ කටයුතු මේ අනුව ක්‍රියාකාරීත්වය නවතිනවා. මේ කාරක සභාවල ක්‍රියාකාරීත්වය හරහා යම් ආකාරයක රිදීමක් ආණ්ඩුවට වුණාද කියන එක අපි දන්නේ නැහැ.  ගිණුම් කාරක සභාව පොදු ව්‍යාපාර කාරක සභාවේ යන දෙකේම ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කළා. පහුගිය මාස කිහිපය තුළ තමයි රජයේ ආයතන වල වංචාවන් දූෂණ පිළිබඳ කරුණු නිරන්තරයෙන් විමර්ශනය කරන්න පටන් ගත්තේ.

එම දූෂණ වලට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට මූලික කටයුතු ආරම්භ කර තිබුණා. ඒ සියල්ල මේ සභාවාරය කල් දැමීම හරහා අහෝසි වෙනවා. අපි සකස් කරල තියෙන වාර්තා සියල්ල අහෝසි වෙනවා. නැවත මුල සිට පටන් ගන්න වෙනවා.

මේක කල් දැම්මේ විශේෂ කාරණයක් තියෙනවා නම් රටේ ජනතාවට එය පැහැදිලි කරන්න  ජනාධිපතිවරයාට යුතුකමක් තියෙනවා.

අද වෙනකොට අපේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 1.4 ක ට වඩා අඩු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එය අපිට සති දෙකකට ප්‍රමාණවත් මුදලක් වත් නෙමෙයි. අපිට අවශ්‍ය ඉන්ධන බෙහෙත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්නගන්න සහ විය හියදම් කරන්නවත් ප්‍රමාණවත් සංචිත අපේ භාන්ඩාගාරය සතු ව නැහැ. මෙය තමයි අප ඉදිරියේ තිබෙන බරපතලම අභියෝගය. අනිත් පැත්තෙන් රට විශාල ආර්ථික පීඩනයකට හසු වෙලා රටේ ජීවන බර හතර ගුණයකින් වැඩි වෙලා. මිනිස්සුන්ගේ ආදායම් මාර්ග වලට වඩා වේගයෙන් ජීවන වියදම වැඩි වෙමින් පවතිනවා. බඩු මිල වැඩි වෙමින් තියෙනවා. විශාල ලෙස භාණ්ඩ මිල ඉහළ යෑමෙන් ජනතාව ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටිනවා. සීඝ්‍රයෙන් වෙළෙඳපොළ උද්ධමනයට මුහුණ දෙන්න ජනතාවට සිද්ධවෙලා තිබෙනවා.

ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මතුවන විරෝධතාව,  කාරක සභා හරහා කෙරෙන විමර්ශන සහ වාර්තා සහ අනෙකුත් කටයුතු සියල්ල මේ හරහා අත්හිටවීමේ පියවරක් හැටියට මේ කල්දැමීම හරහා ආණ්ඩුව උත්සාහ කරා. ඒ වගේම ආණ්ඩුවේ දූෂිත  ගනුදෙනු ගැන පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හෙළිදරව් වෙමින් තිබුණා. විශේෂයෙන්ම කෙලවරපිටිය බලාගාරය කොටස් විකිණීම සහ එහි හංගා ඇති ක්‍රියාවලි ගනනාවක් ගෑස් ඒකාධිකාරිය සහ නල පද්ධතිය ඉදිකිරීම සම්බන්ධයෙන් පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ විවිධ අදහස් ඉදිරිපත් වුණා. මේ හරහා ආණ්ඩුවට ලොකු අභියෝගයකුත් එල්ලවෙලා තියෙනවා. ආණ්ඩුවේ ගනුදෙනු සියල්ල වංචා සහගත විනිවිදභාවයකින් තොරව ගජමිතුරු හවුල් ව්‍යාපාර ශක්තිමත් කරන්න පදනම් කරගනිමින් සිදුවන ඒවා බවට පැහැදිලියි. මේ කාරණා හෙලිවෙන එක නවත්තන්න මෙවැනි පියවරක් ගත්තාද කියන සැකය අපි තුළ තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා මේ මොහොතේ සැසිවාරය කල් දමන්න ගත්ත තීරණය හරහා විශාල බලපෑමක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ක්‍රියාකාරීත්වයට සිදුවෙන බව අපි දැඩි ලෙස ම අවධාරණය කරනවා. ආණ්ඩුව මේ යන ගමන පිළිබඳව ලොකු සැකයක් තිබෙනවා. ආණ්ඩුව යන මේ ගමන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස  ප්‍රජාතන්ත්‍රවාදී සියලු කණ්ඩායම් වලින් සහ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා.