(විමුක්ති එස් රුද්‍රිගු)

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් යළි නැගිටීම සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාදීම ප්‍රමාද වීම සහ රජයේ ආයතන අතර දුර්වල සම්බන්ධීකරණය එලෙස යළි නැගිටීම සඳහා ගන්නා උත්සාහයන් ප්‍රමාද කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන  නිකුත් කළ ඇස්තමේන්තු වාර්තාවේ දැක්වේ.

ලබාගත් දත්තයන්ට අනුව ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟයක් තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සිටින්නේද සීමා සහිතව බවත් වාර්තා වන බව එම වැඩසටහන ප්‍රකාශ කළේය.

එසේම යළි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමේදීද ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණ දීමට සිදුවී තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පැවසුවේය.

හානි වූ යදිතල පහසුකම් නැවත ගොඩනැගීමේදී මෙම සීමාවන් බාධාවන් බවට හඳුනාගෙන ඇතැයිද එම වැඩසටහන ප්‍රකාශ කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවගෙන් ලක්ෂ 11කට වැඩි පිරිසක් කුණාටුව පැමිණීමට පෙර සිටම හරි හමන් ආදායමක් නොමැතිකමින්, ණය බරින් පීඩාවට පත්ව සිට ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පැවසුවේය.

ඒ හේතුවෙන් එම පිරිසට දිට්වා සුළි කුණාටුව වැනි ආපදා තත්ත්වයකට මුහුණ දීමට හැකියාවක් තිබී නැතැයිද එම වැඩසටහන ප්‍රකාශ කළේය.