(අනීෂා මානගේ)
රටේ ඇතිවී ඇති අර්බුදය විසඳීමට ඇති හොඳම ක්‍රමය ජනතාව ඉදිරියට පැමිණ ජනතාවගේ කැමැත්ත උරගා බැලීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) බෙලිඅත්තේදී පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූයේ බෙලිඅත්ත වලවෙල ශ්‍රී දේව රක්ඛිතාරාමයේ ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
‘‘මම හිතන්නේ ව්‍යවස්ථානූකූලව කටයුතු කරන එකයි අපි කවුරුත් කරන්න ඕන. අධිකරණය ඉදිරියේ නඩුවක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. රටේ ජනතාව හැමෝම කතා කරන්නේ රටේ තියෙන අර්බුදය විසදන්න හොඳම ක්‍රමය ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත උරගා බලන්න කියන එක.
අපි හැම අවස්ථාවකදීම ජනතාව කෙරෙහි විශ්වාසය තියල තියෙනවා. ඡන්ද දායකයා මේ අර්බුදයට විසඳුමක් ලබා දේවි. රජයට තියෙන්නෙත් විපක්ෂයට තියෙන්නෙත් ඡන්දයට බය නැතුව, ඡන්දයට බයේ හැංගෙන්නේ නැතුව ජනතාව ඉදිරියට ඇවිල්ලා මේ මැතිවරණයට මුහුණ දෙන්න.
මැතිවරණයකින් කාගෙවත් ප්‍රජා අයිතිය නැති වෙන්නෙත් නැහැ. කෙනෙකුගේ මූලික අයිතිවාසිකම් නැතිවෙන්නෙත් නැහැ. වඩාත් වැදගත් වන්නේ රටේ ස්ථාවරත්වයක් ඇති වෙලා රටට හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා ඒ ආණ්ඩුව තුළින් ජනතාවට වඩාත් පහසුකම් ලබා දීමයි.
රටේ ජනාධිපතිවරයාට මරණීය තර්ජන ඇති වෙලා තියෙන වෙලාවක, රටේ ආර්ථිකය කඩාහැලෙන වෙලාවක, රටේ පරිපාලනය පිරිහෙන වෙලාවක අපිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් මේ රජය භාර ගන්නැයි ආරාධනා කළා.
ඉතාමත් සතුටින් අපි එය භාර ගත්තා. එතුමා කිසිම විටෙක ව්‍යවස්ථාව උල්ලංඝණය කළේ නැහැ. ව්‍යවස්ථාව අනුව කටයුතු කරලා තමයි අපි බලයට ආවේ. මේ අවස්ථාවේදී අද පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියාපටිපාටිය නිසා ව්‍යවස්ථාවේ නැති බලතල පාවිච්චි කරමින් විධායක බලය පාවිච්චි කරමින් ඔහු කටයුතු කිරීම නිසා ඇති වී ඇති අර්බුදය මම අමුතුවෙන් කියන්න ඕන නැහැ.
අපි ගත්තම අපිට තේරුණා ජනතාව බදු බරින් මිරිකිලා හිටියේ. බඩු මිල ඉහළට නැගලා. බදු අයකලා පුංචි කඩයකින් පවා. මෙවැනි තත්වයක් තිබුණු අවස්ථාවක බදු බරින් හිටිය අයව නිදහස් කරන්නට අපි පියවර ගත්තා.
කෘෂිකර්මාන්තයෙන් ලැබෙන සියලුම ආදායම්, ආදායම් බදු වලින් නිදහස් කරන්නට අපි පියවර ගන්නවා මේ සතියේදී. මේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි. සමහර අයට කෘෂිකර්මය අරහන්. පසුගිය ආණ්ඩුවට කෘෂිකර්මාන්තය පිළිබඳව අවබෝධයක් තිබුණද මම දන්නේ නැහැ.
පිටරටින් ලැබුණු උපදෙස් තමයි කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න එපා කියන එක. ඒ නිසා කෘෂිකර්මාන්තයෙන් බදු අයකරන්න පටන් ගත්තා. අපි දැන් ඒක වෙනස් කරනවා. බෝග වලින්, වී වලින් ලැබෙන ආදායම ගැන අපි සොයල බලලා අවුරුදු පහක සහනයක් ලබා දීලා තවතවත් ඔවුන් කෘෂිකර්මය කෙරෙහි ධෛර්යමත් කරන්න පියවර ගන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ.
මේ විදියට අපි රටේ බදු බර අඩු කරලා බඩු මිල අඩු කරලා ජනතාවට වඩාත් සහන සලසන ආණ්ඩුවක් තුළ අනවශ්‍ය බදු අය කරල අනවශ්‍ය විදියට ජනතාව පීඩනයට ලක් කරන්න අපි සූදානම් නැහැ.
අද ලොකුවට කියනවා අපිව යම් යම් ආයතන වලින් අපිව පල්ලෙහාට දාලා තියෙනවා කියලා. හැබැයි කිසිම වෙනසක් සිදුවෙලා නැහැ එදා ඉදලා අද වෙනකල් දවස් විසිහතකට.
මීට මාස තුනකට උඩදී ඒ ආණ්ඩුව තියෙනකොටත් ඒ ආයතන ඇවිල්ලා බලපු තත්වයට වඩා හොඳ තත්වයක් මිසක් නරක තත්වයක් අද රට තුළ ඇති වෙලා නැහැ. අපිට ණය ගෙවන්න සල්ලි තියෙනවා. අද සමහරු කිය කිය යනවා පිටරටට ණය ගෙවන්න අපි ළග සල්ලි නැහැ කියලා.
අපිට තියෙනවා සල්ලි. ඒ නිසා අපි ඒකට බය වෙන්නේ නැහැ. අපිට ණය ගෙවන්න පුළුවන්. ණය ගන්නත් ශක්තිය තියෙනවා. ගෙවන්න පුළුවන්කම තියෙනවා. අපි රටේ සංවර්ධනයක් කරල තියෙනවා. අපි ගත්ත ණය වලින් නම් සංවර්ධනය කලා. රට වටේ ඇවිද්දම පේනවා ඒක.
වරායට ගුවන්තොටුපොළට ගියත් ලංකාවේ කොහේ ගියත් බලාගන්න පුළුවන්. උතුරු ප්‍රදේශයේ සංවර්ධනය ඇති වුනේ අපේ කාලයේදී. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුවෙන් බෝක්කුවක්වත් හදල නැහැ. එහෙමවත් බැරි වුනා. තව ටික දවසකින් පැයයි විනාඩි විස්සකින් කොළඹ නගරයට යන්න පුළුවන්කම තියෙනවා මෙහේ ඉදන්. අපිට ඉස්සර යන්න පැට හතක් අටක් ගියා. ඒ තත්වය වෙනස් කරලා මේ දරුවන්ට හොඳ රටක් බිහි කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා ‘‘යැයිද අගමැතිවරයා පැවසීය.
( වීඩියෝ- 356)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්බුදය විසඳන්න හොඳම ක්‍රමය හැම දෙයට ණයට නොකර, රටට දැරිය හැකි විදියට ජිවත් වීමයි. මේතාක් කල් වැඩි වැඩියෙන් ඡන්ද තියල රටට වුන සුගතිය කුමක්ද?
ඔයගොල්ලම අවුල ඇති කරලා ඇත්තේ ඔයගොල්ලන්ගේ විසඳුමටම ලගා වෙන්න ඕන නිසාවෙන්න ඇති.
ඕවා කරන්න ඉස්සර වෙලානේ අපේ කැමැත්ත අහන්න තිබුනේ.
ජනතා කැමැත්ත බලන්න තියෙන්නේ 2020 දී. දැන් පළමුව පළාත් සභා සහ ඊට පස්සේ ජනාධිපතිවරණය, දන්නා තරමට නීතියට අනුව .
ඊට කලින් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න
මොහු කියනවා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන්න ඕනේ කියා .. මොහු එහෙම ගරුකරන කෙනෙක් නම් මොවුන් පිවිසෙන රන් දෙවොල වැනි පාර්ලිමේන්තුවේ ඇති කතානායක පුටුවට වතුර හලමින් ඒ මත වාඩිවෙමින් ගෝලයෝ ටික එය කිලිටි කරනකොට සද්ද නොකර බලා හිටියේ මන්ද ?අබින්වත් කාල හිටියාද ?
නැත ,ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමයි.
පවතින ආණ්ඩුව කුමන්ත්‍රණ කරලා අල්ලාගෙන දැන් ජනතා කැමැත්ත අනන්නේ ඔහේගේ සල්ලිවලින්ද මැතිවරණ තියන්නේ?
කුමන්ත්‍රණය අසාර්ථක වූ තැන ඡන්දයකට යාම ලැජ්ජා සහගතයි..... ඔබට සතුටුයිද දැන්...
දැනට ඇත්තේද ජනතාව පත්කළ පාර්ලිමේන්තුවකි. අලුත් පාර්ලිමේන්තුවක් පත් කලද, මෙලෙසම තස්ත්‍රවාදී ලෙස රාජ්‍ය බලය කොල්ලකා ගත හැක. මෙයට විසදුම තස්ත්‍රවාදය මර්දනය කිරීමයි. මේ සදහා රට වෙනුවෙන් ජනයා පෙරට ආ යුතුය.
මැදමුලනින් බිලියන 5ක් දෙනවාද ඡන්ද තියන්න..
ජනාධිපති මැතිවරණය කැදවන්න එය ව්‍යවස්ථානුකූලයි..
කාට ඇතිවෙච්ච අර්බුදය විසඳන්නද අගමැති මන්ත්‍රී තුමෝ?
අර්බුදයක් ඇති කර පසුව ජනතාව ඉදිරියට යාමක් ගැන කතාකිරීම කොතරම් සාධාරණද? 2015 ජනාධිපතිවරණයේදී මරණීය තර්ජන, ආර්ථිකය කඩාවැටීම, රටේ පරිපාලනයේ පිරිහීම වගේ කරැණු අපට කීවේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එම තත්ත්වයට වගකිව යුක්තාටම අද නැවත රට බාරදී ඇත. රාජපක්ෂ මහතා අද කියන නිවැරදි පාලනය එදා පැවතියේ නම් ජනතාව ප්‍රතික්ෂේප කළේ මන්ද යන්න අපට තේරුම් ගත නොහැකියි.
කලයුත්තේ එය නොවෙයි මන්ත්‍රීතුමෝ පවුලේ අයට සදාකාලිකව බලයේ සිටීමට තිබෙන කෑදරකම නැතිකරගෙන ඔබ ඉල්ලා අස්වීම. එවිට සියලුම ප්‍රශ්ණ අවසන් වෙනවා
එක තමයි අපිත් පුන පුනා කියන්නේ. එජාපෙ දන්නවා ජනතාව දෙන සැන්තැසිය. එනිසා ලොකාගේ සිට සොක්කා දක්වා හැමකෙනාම භයයි ජනතා කැමැත්ත බලන්න.
මහතයෝ ඡන්දෙකට ඉස්සෙල්ල නිත්‍යානුකූල ආණ්ඩුවක් පත් කරන්න. ඔය ආණ්ඩුව යටතේ තියන ඡන්ද ගැන අපිට කිසිම විස්වාසයක් නැත.
ජනතා කැමැත්ත බලලා ඒ අනුව තමයි ආණ්ඩුවක් පත් කර ගන තිබුණේ. පස්ස දොරෙන් රිංගලා දැන් බොරු ආණ්ඩුවක් අටවාගෙන ඔබ නිකුත් කරන උපදෙස් පිළිපදින්න අපට බැහැ. ඔබට උවමනා උවමනා වෙලාවට ජන මතය පරීක්ෂා කිරීමක් කරන්න බැහැ නේ !
ජනතා තැමැත්ත විමසීම තමයි හොඳම ක්‍රමය. ඒ වුණත් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක බලහත්කාරයෙන් බලයේ ඉන්න කල්ලියක් යටතේ මැතිවරණයක් පැවැත්වීම හැමෝටමත් ප්‍රජාතන්ත්‍රවාදයටත් අනතුරුදායකයි
විසදන්න ඕනා අර්බුදය හදපු කට්ටියම තමයි!
අපිත් ඉස්සරේ පොඩි කලේ මෙහෙමයි. කණ්ඩායම් දෙකකට බෙදෙනවා ක්‍රිකට් ගහන්න. කාසියේ වාසිය බලල පැරදිලා අනිත් උන් බට් කනනකොට දික වෙලාවක් සෙල්ලම් කරලා කොහොම හරි බාල්දියක් පෙරලනවා . වලියක් දාගන්නවා. විකට් පොලුත් පෙරලනවා . එක්කෝ ලකුණු එකතු කරන්නේ හොරට කියල වලිය ඇදගන්නවා. හොරට අවුට් කරලා බාල්දි පෙරලනවා. ඊට පස්සේ කෑගහනවා මේක හරියන්නේ නැහැ ආයේ මුල ඉදල කාසිය වාසිය බලල තරගය පටන්ගමු කියල . සමහර දවස් වලට දවස ඉවර වෙනකම්ම කාසිය වාසිය බලන එකයි රණ්ඩුවෙන එකයි තමා කරන්නේ . මුන් ඒවා කරන්නේ දැන් . එත් ප්‍රස්නේ මේ විනාශ කරන්නේ ජනතාවගේ කාලය, දේපොළ හා බලාපොරොත්තු . පට්ටම හොර හැතිකරයක්. නඩු ටික යට ගැන ගන්න තමා මේ ඔක්කොමෙ . අඩුම ගානේ විශේෂ අධිකරණයෙන් මහා බැංකු නඩුවත් අනිත් ඒවා එක්කම කරනවා කියල මුන් නිකමට වත් කියනවද. අපු ගමන් හොර අධිකරණ ඇමතිය කියන්නේ උගෙත් නඩුවක් තියෙන මුල්‍ය අපරාද අංශය වහනවා කියල .
නියමිත කාලයට කලින් හොරට ආණුඩු හදාගෙන මහජන මුදල් කෝටි ගණනින් වියදම් කරලා ඡන්ද තියන්න කියලා අපි ඉල්ලුවේ නෑ...
ජනතාව ඔයාව පන්නලා ඉවරයි. පස්ස දොරෙන් ඇවිත් ජනතා කැමැත්ත හොයන්න එපා.
මුලින්ම පැවැත්වෙන්නේ පළාත් සභා , ඊළගට එන්නේ ජනාධිපතිවරණය , නීත්‍යානුකුලව තිබුණු ආණ්ඩුව මෙය වහාම පැවැත්වීමට වග බලා ගත යුතුයි.
නිකන් පන්සල් ගානෙ ගිහින් බයිලා කියන්නේ නැතුව හරි විදිහට මැතිවරණයක් ගේන්නකො.
ඔව් ජනතා කැමැත්ත බලමු එක හොඳයි... හැබැයි ඔයා බලෙන් අල්ලගත්තු ආණ්ඩුවක් යටතේ නෙවෙයි.. ඔයා හිටපු තැනටම යන්න, හිටපු අගමැතිතුමාට එයාගේ තැන දෙන්න.. එහෙම කරොත් විතරයි සාධාරණ ඡන්දයක් බලාපොරොත්තුවෙන්න පුළුවන් ඔයාල ආණ්ඩු බලය බලෙන් ගත්තොත් ඡන්දය මෙහෙයවන්න රජ්‍ය දේපොළ පාවිච්චි කරන්න කියල අපි ඔක්කොම දන්නවා....
මේ විදිහට පස්සා දොරෙන් බලයට එන්නේ නැතිව, රට අස්ථාවර නොකොට මහා මැතිවරණයකට එන්න තිබුනානේ. නෛතික නොවන ආකාරයට ආවේ සාධාරණ ලෙස බලයට එන්නට බැරිනිසා නේද ?
පින් අගමැති දැන් ඡන්දයක් ඉල්ලනවා තමන්ගේ නඩු ඉවත් කර ගන්න. ඔබතුමා මේ රටට කරපු විනාශය ඉතාමත් බැරෑරුම්. යුද්දේ දින්න වගේ නෙවෙයි, රටේ එක්සත් කම නැති කරලා, ආගම ජාති භේද කරලා, රටේ තියෙන දේවල් කොල්ලකාලා, චීනෙත් එක්ක හොර ඩීල් දාල රට විනාශ කරපු එකට දිට්ධම්මවේදනීය කර්මය පලදේවී ඉක්මනටම.
ජනතාවගේ ඉදිරියට යන්නෙ කොහොමද පුංචි ඡන්දෙ ප්‍රතිථල සිහි වෙද්දී. ඔබතුමා බලයේ ඉද්දි දින්නා නම්, කියන්න තිබුණා ඔබ රාජ්‍ය බලය භාවිතාකර පැවැත්වු දූෂිතම මැතිවරණය කියලා. දැන් එහෙම කියන්නත් ඉඩ ප්‍රස්ථාව නෑ නොවැ.
මහත්තයෝ අපි ආණ්ඩුවක් පත්කළේ අවුරුදු 5 කට. පිළිගත හැකි හේතුවක් නැතිව ජනාධිපති මරන්ඩ හදනවා කියල අදවත් ඔප්පුකරගන්න බැරි හේතු දක්වල බහුතරයක් නැති තමුන්නාන්සේ සිරිසේන මහත්තයාගේ සාක්කුවේ තියාගන ඉන්න විස්ස බලගන ආණ්ඩු හැදුව එක පාර්ලිමේන්තුව විසුරවන්න හේතුවක් නෙමේ ඇහෙම කලොත් අපි අවුරුදු 5ක් සදහා පත්කරපු පාර්ලිමේන්තුව විසුරවීමෙන්ට් අපේ මුලික අයිතිය නැතිවෙනවා ඒ නිසා බහුතරයට ඉඩ දී ගොස් නැවත 2020 දී එන්න
බොර දියේ මාළු බෑම සඳහා උත්සාහයක් වගේ
ඔව් ඔව් මොකක් විකුණලා හරි කමක් නෑ.. ඡන්දෙ තියනවා නං...
අර්බුදයක් ඇතිවුනේ නඩු ටික නිසා. ඒක පුද්ගලික දෙයක්.. වැරදි කරපු ඒවාට මහජනතාව මොනවා කරන්නද? දැන් දුක් විඳින්න වෙන්නේ මහජනතාවටයි. දැන් ආරංචි හැටියට මේ ටිකට් ගුවනින් වාහන ගෙන්වලා, හෙලිකොප්ටර් පාවිච්චි කරනවා... මේ කාගේ සල්ලිද? අපි නේද ඒවා ගෙවන්න ඕනේ...
ජනතා කැමැත්ත බැලීමට කලින්, තමාටයි පවුලේ අයටත් අධිකරණවලින් විසඳීමට බොහෝ දේවල් තියනවා. ඕවා නිරවුල් කර ගන්න.
පුදුම කතාවක්නේ දැන් ආණ්ඩුවක් පත්කරගෙන කැබිනට් එකයි අගමැතියි හදාගෙන නොවේද ඉන්නේ ? ඉතින් තව මොන ජනතා කැමැත්තක්ද මේ ඉල්ලන්නේ ?