(විමුක්ති එස්. රුද්‍රිගු)

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ විදේශ ගමන් බලපත්‍ර අතර 169 වැනි ස්ථානයට පත්ව ඇති බව ලොව පුරා විදේශ ගමන් බලපත්‍රවල ශක්තිය සහ වීසා ප්‍රවේශය පිළිබඳ දත්ත රැස් කරන ස්වාධීන වේදිකාවක් වන පාස්පෝර්ට්ස් රිපෝට්ස් වෙබ් අඩවිය පසුගියදා පෙන්වා දුන්නේය.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට හිමි ලකුණු සංඛ්‍යාව 53කි. ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට රටවල් 15කට වීසා රහිතවද, රටවල් 34කට පැමිණීමේදී වීසා ලබාගෙනද ගමන් කිරීමට හැකියාව ඇත. කෙසේ වෙතත්, ගමනාන්ත 145කට ශ්‍රී ලාංකිකයන්ට කල්තියා වීසා ලබාගැනීමට අවශ්‍ය වන බවද එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

"පාස්පෝර්ට්ස් රිපොර්ට්ස්" වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීමට අනුව ඉන්දියාව 131 වැනි ස්ථානයේත්, චීනය 97 වැනි ස්ථානයේත්, රුසියාව 75 වැනි ස්ථානයේත්, පාකිස්තානය 183 වැනි ස්ථානයේත් පසුවේ. මේ අතර නේපාලය 171 වැනි ස්ථානයේත්, මියන්මාරය 168 වැනි ස්ථානයේත්, ඉතියෝපියාව 173 වැනි ස්ථානයේත් පසුවන අතර, එම රටවල විදේශ ගමන් බලපත්‍රලට හිමි ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට ආසන්න වේ.