
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම "CCC+" සිට "B-" දක්වා ඉහළ දැමීමට ෆිච් රේටින්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය අද කටයුතු කළේය.
කෙසේ නමුත් රජයේ පොලී ගෙවීම් ආදායමෙන් සියයට 41ක් දක්වා ඉහළ මට්ටමක පවතින බවත් මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය මේ වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 92.9ක මට්ටමේ පවතිනු ඇති බවත් ෆිච් රේටින්ස් ආයතනය පුරෝකතනය කළේය.
එසේම ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ස්ථාවර බවද එම ආයතනය පැවැසුවේය. මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව නැවත වරක් බාහිර ණය ගෙවීම් පැහැර හැරීමේ මූල්‍ය අවදානම අඩුවීම මෙරට බාහිර ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ෆිච් රේටින්ස් පැවැසුවේය.
ආර්ථිකයට එල්ල වන බලපෑම් හමුවේ යම් ශ්‍රී ලංකාව යම් නම්‍යශීලී බවක් ගොඩනගා ගැනීමද මෙරට ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට හේතුවක් වී ඇත. රාජ්‍ය මූල්‍ය සහ බාහිර ගෙවුම් ශේෂයන්හි දක්නට ලැබෙන සීඝ්‍ර වර්ධනය මෙන්ම විදේශ විනිමය සංචිතවල සිදුව ඇති යම් ප්‍රමාණයක යථා තත්ත්වයට පත්වීම මගින් ද මෙය පිළිඹිඹු වන බව ෆිච් රේටින්ස් සඳහන් කළේය.
මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 96.7ක් වූ බවත් එය මෙම වසරේදී සියයට 92.9ක් දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ෆිච් රේටින්ස් ආයතනය ප්‍රකාශ කළේය. එය ‘B’ ණය ශ්‍රේණිය සහිත රටවල මධ්‍යස්ථ සියයට 54.7ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක් බවද එම ආයතනය පෙන්වා දුන්නේය.
මේ අතර, රජයේ පොලී ගෙවීම් රාජ්‍ය ආදායමට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 45.6ක් වූ බවත් එය මෙම වසරේ සියයට 41 දක්වා පහළ යනු ඇති බවත් ෆිච් රේටින්ස් ආයතනය ප්‍රකාශ කළේය. එහෙත් එම අගය ‘බී’ ශ්‍රේණියේ රටවල මධ්‍යස්ථ සියයට 12.7 මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි බවද එම ආයතනය පෙන්වා දුන්නේය.
එහිදී ශ්‍රී ලංකාව මෙම වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.6ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි ෆිච් රේටින්ස් ආයතනය පුරෝකතනය කර ඇත. එය පසුගිය වසරේ වාර්තා වූ වාර්තාගත සියයට 5.4ක ප්‍රාථමික අතිරික්තයට වඩා අඩු මට්ටමක් බවද එම ආයතනය පෙන්වා දුන්නේය. බදු ප්‍රතිසංස්කරණ සහ මෝටර් රථ ආනයනය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම නිසාවෙන් ආනයන බදු ආදායම් ඉහළ යාම රාජ්‍ය ආදායම් වර්ධනයට සහාය වනු ඇතැයි ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd