(*** දෙණියාය විශේෂ එස්.ඩී. කොඩිකාර)

අහුලාගෙන පැමිණි සරුංගලයක් නිසා ඇතිවූ ආරවුලකින් අකුරැස්ස දීගල ධීවර ගම්මානයේ එකම පවුලේ තිදෙනෙකු කඩුවලින් කපා කොටා තුවාල කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි. තුවාලකරුවෝ දෙදෙනෙක් අකුරැස්ස රෝහලට ඇතුළත් කරනු ලැබූහ. තුවාලකරුවන් අතර පියකු ඇතුළු පුත්තු දෙදෙනෙක් සිටිති. පියාගේ තත්ත්වය බරපතළ බව පොලිසිය කියයි.

මෙම ගම්මානයේ වයස අවුරුදු (14) ක ළමයකු සරුංගලයක් ඇහිඳගෙන විත් ඇති අතර එම සරුංගලය ගම්මානයේම (25) හැවිරිදි තරුණයකු ළමයාගෙන් ඉල්ලා සිටියදී ළමයා තරුණයාට සරුංගලය නොදී නිවසට පැමිණ ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම ළමයා කඩයට ගිය අවස්ථාවේ සරුංගලය නොදීම නිසා තරුණයා ළමයාට පහරදී ඇති බවත් ළමයා නිවෙසට පැමිණ මේ බව පැවසීමෙන් පසු එය විමසීමට ළමයාගේ පියා එහි ගිය අවස්ථාවේ නිවසේ අය ඔහුට කඩුවලින් පහරදී තුවාල සිදුකර ඇති අතර පසුව කඩය ළඟදී අනිත් අයට පහරදී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.