(ඉන්දිකා  රාමනායක,ශාන්ත කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා දිවෙන මං තීරුවේ දී  අද (29) අලුයම සිදුවූ  ලොරි රථ අනතුරකින්  පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක ටයරයක  සිදුවූ ආපදාවක් හේතුවෙන්  එහි  රියදුරු සහ සහයක ලොරි රථය මාර්ගය අයිනේ නවතා අලුත්වැඩියා කරමින් සිටින අතරතුර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත්  ලොරි රථයක්  මෙම රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථය ගැටීමෙන් එහි රියදුරු මාර්ගයට විසි වී මිය ගොස් ඇති බවත් , ලොරි රථයට වම් පසින් ගමන් ගත් එහි හිමිකරු ලොරි රථය තුළ සිරි වී සිට  එය ගිනි ගැනීමට ලක්ව පිලිස්සුම් තුවාල ලබා මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරිය අලුත්වැඩියා කරමින් සිටි රියැදුරු සහයක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ ගමන් කරන අතරතුර රථයක් යම්කිසි ආපදාවකට ලක් වුවහොත් එය එම ස්ථානයේ  සිටම  වහාම   එහි ආපදා අංශයට දැනුම් දී ඔවුන්ගේ සහාය ලබාගෙන ලබා වැඩියා කටයුතු සිදු කළ යුතු බවත්. සේ නොකර තම අභිමත  පරිදි රථය නවතා අලුත්වැඩියා  නොකල යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

අභිමතය පරිදි එම ස්ථානයේම වාහන නවතා  අලුත්වැඩියා කිරීමට යාම හේතුවෙන් මෙවැනි අනතුර වූ සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

(ඡායාරූප ශාන්ත කුලරත්න)