(යොහාන් භාසුර)

අඩු ආදායම් ලාභීන්ට සහන ක්‍රමවේදයක් යටතේ සූර්ය විදුලිබල සම්බන්ධතා ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකා විදුලි පුද්ගලික සමාගමට (ලෙකෝ) උපදෙස් දී තිබේ.

අඩු ආදායම් ලාභීන්ට සහන ක්‍රමයට විදුලිය ලබාදීමෙන් ඔවුන්ගේ විදුලිය අවශ්‍යතාව මෙන්ම අතිරික්ක විදුලිය විකිණීමෙන් ඔවුන්ට අතිරේක ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව කී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එම ව්‍යාපෘතියෙන් අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවස්ථාව ද ලැබෙන බව සඳහන් කළේය.

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට 70 ක් කිරීමට ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඒ සඳහා වන ව්‍යාපෘති රැසකට මේ වන විටත් ආයෝජකයන්ට ආරාධනා කර ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

නාරාහේන්පිට ඉදිකරන ලංකා විදුලි පුද්ගලික සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එසේ පැවසීය.