(ෂේන් සෙනෙවිරත්න)

අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ෂියා අනුස්මරණ රෝහලේ ආරක්ෂක නිලධාරියකුට සහ සාත්තු සේවකයෙකුට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනකු සහ ඔවුන් පැමිණි වාහනය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .

එම රෝහල ඉදිරිපිට පිවිසුම් මාර්ගය අවහිර වන ලෙස පෙරේදා (11) රාත්‍රී කාලයේ නවතා තිබූ ජීප් රථයක් ඉවත් කරගන්නා ලෙස රෝහල් ආරක්ෂක අංශය දැනුම් දීමෙන් පසු ඇතිවු කථාබහක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුවී ඇති බව පවසන පොලිසිය ඊට සම්බන්ධ සියලූ සැකකරුවන් සහ අදාල වාහනය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද කියයි .

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා අකුරණ ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද පොලිසිය කියයි .

පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා සහ සාත්තු සේවකයා ෂියා රෝහලේම ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි .

සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා අලවතුගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් සමඟ ජීප් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි . 

එම පහර දීමට විරෝධය දක්වමින් අද (12) පෙරවරු 08.00 සිට 10.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ද රෝහල් සේවකයන් විසින් දියත් කොට තිබුණි .

අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදු කරයි .