(ඉන්දිකා රාමනායක)

74 වන ජාතික නිදහස් දිනයට  නිමිත්තෙන් හෙට (4)  දින  සිරකරුවන් 197  දෙනෙකුට ජනාධිපති  සමාව හිමිවන  බව බන්ධනාගර මුලස්ථානය පවසයි.

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක්  වශයෙන්  මෙම පිරිසට නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය  ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්  චන්දන ඒකනායක මහතා පවසයි.

මෙලෙස  නිදහස  හිමිවන්නේ, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිර දඬුවම් විදින සිරකරුවන් ද,  බන්ධනාගාරගතව සිර දඬුවම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්, නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන් , මහාධිකරණයෙන් වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියමකළ  දින සිට  පෙබරවාරි 04 වැනි  දින දක්වා  එම දඩුවමෙන්  වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරු වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

තවද පෙබරවාරි මස   04  වැනි දින දක්වා සිර දඬුවම් විදින සිරකරුවන් හට ගෙවන ලද වසරකට හෝ  ඉන් කොටසකට දින 07ක් සමාවක්  හිමිවන බවද  මාධ්‍ය ප්‍රකාශකවරයා  වැඩිදුරටත් කියා සිටියේය.