(අංජුල මහික වීරරත්න)

2025 වර්ෂයට අදාළව පැවති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල අනුව පැවැත්වූ නිපුණතා පරීක්ෂණයේ හා කුසලතා පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, ඉන් අයදුම්කරුවන් 2498 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දකුණු කොරියානු රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය 2025 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට 2026 වසරේ මාර්තු මාසය දක්වා UBT ක්‍රමවේදය (Ubiquitous-based Test) ඔස්සේ පැවැත්වුණු අතර ඒ සඳහා අයදුම්කරුවන් 28,204 දෙනෙකු ඉදිරිපත් විය. නිශ්පාදන හා ධීවර අංශවලට අදාළව පැවති මෙවර විභාගයෙන් අයදුම්කරුවන් 3,839 දෙනෙකු සමත්වූ අතර, මෙම පිරිස ඉන් පසු නිපුණතා පරීක්ෂණයකට හා කුසලතා පරීක්ෂණයකට ඉදිරිපත් කරන ලදී.      

එසේම දකුණු කොරියාවේ වසර 4 මාස 10ක් සේවය කර පැමිණ යළි කොරියාවේ රැකියාවක් සඳහා පිටත් වන පුද්ගලයන්ට පැවැත්වෙන විශේෂ විභාගයට ඉදිරිපත් වූ 261 ක් අතරින් 110 දෙනෙකු නිශ්පාදන හා ධීවර අංශවල රැකියා සඳහා සුදුසුකම් ලබා තිබේ.

දකුණු කොරියානු රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවන අතර, ඒ අනුව 2025 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 3,812 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.