(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ද්විත්ව  පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට ඇති අයිතිය අහිමි කිරීමෙන් මවුබිම විදේශීය ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා  ඉවහල් වුණු විසිඑක්වෙනි   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත  අනුමත කිරීම සඳහා පැවති ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව තොරතුරු   දැන ගැනීමේ පනත යටතේ හැකි ඉක්මනින් ලබා දෙන්නැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කළේය.

විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මවුබිමට අතිශයින්ම තීරණාත්මක පනතක් හෙයින්  එම පනතට සහාය ලබාදීම යම් මන්ත්‍රීවරයකු මග හැරියේ නම්  මවුබිමට ඇති ඔවුන්ගේ පක්ෂපාතිත්වය පිළිබඳව යම්  සැකයක් මතුවන බවද   ඔහු පෙන්වා දුන්නේය.

එම ඡන්ද විමසීමට මන්ත්‍රීවරුන් 44 දෙනකු සහභාගි නොවූ බවට ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ බව පැවසූ මන්ත්‍රීවරයා  ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සියලු දෙනාම තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිවූයේ ඇයි දැයි ජනතාවට  කරුණු පැහැදිලි කිරීම යුතුකමක් බවද  සඳහන් කළේය.

දෙදහස්  දහසය  අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව එම තොරතුරු හැකි ඉක්මනින්   ලබා දෙන ලෙස උදය ගම්මන්පිල මහතා ඒ  ලිපිය මගින් ඉල්ලීමක් කළේය.