(අංජුල මහික වීරරත්න)

ජනතාවගේ ආණ්ඩුවක් සහ විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් මේ වන විට රට තුළ ගොඩනැගී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පීඩාවකදී ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීමට හැකියාව ලැබී තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2019-2022 වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙය සිදු කෙරිණි.

2019 වර්ෂයේදී ඉදි කළ මෙම ලවණ බාධකය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, කැකණදුර, මාලිම්බඩ, විල්පිට, මඩිහ සහ තලල්ල ඇතුළු ප්‍රදේශ රැසක වගා බිම්වලට නිරන්තර හානි සිදු විය.

2026 අයවැයෙන් මෙම ගොවීන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කෙරිණි. ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා හානියට පත් අනුක්‍රමික කන්න 07ක් සඳහා, මෙම වන්දි ප්‍රදානය සිදු කෙරේ.

අදාළ කන්නවලදී තමන්ට සිදු වූ වගා හානි පිළිබඳව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිසි පරිදි වාර්තා කර ඇති සියලුම ගොවීන්ට මෙම සහනය හිමි වන අතර, ඒ අනුව වගා නොකළ ඉඩම් අක්කර 12,800ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සිදු කිරීමට නියමිතය.

මෙහිදී සංකේතාත්මකව ගොවීන් 250 දෙනෙකු සඳහා වන්දි ප්‍රදානය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, සියලු වන්දි හිමි ගොවීන් සඳහා ඉදිරි දින 14 ඇතුළත වන්දි ප්‍රදානය කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.