හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්..

(යොහාන් භාසුර)

මෙම වසර තුළ අනිවාර්යෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි ‘මාලිමා’ ආණ්ඩුවට බලකරන බවත් කිසිම පක්ෂයක ලේකම්වරයෙකුට පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නෑ යැයි ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක සහ නීතිමය අයිතියක් නොමැති බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (27) පැවසීය.

‘ජන මතයට හිස නමනු, පළාත් සභා මැතිවරණය වහා පවත්වනු’ මැයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද (27) පැවැත්වු මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

එම මාධ්‍ය හමුවට සහභාගි වී සිටින සියලුම දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණය පැවැතිවීමට අවශ්‍ය සංශෝධනය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගෙන ඉතාම ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු යැයි එක හඬින් රජයට බල කරන බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙසේ ද පැවසීය.

“පළාත් සභාවලට අතිශයින් වැදගත් කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා ‘තොටිල්ලේ සිට සොහොන දක්වා’ ජනතාවට එදිනෙදා ජීවිතයට බෙහෙවින් වැදගත් වන කාර්යභාරයන් රාශියක් පළාත් සභාවලට පැවරිලා තිබෙනවා කියලා.

නමුත් අද එකම පළාත් සභාවකවත් මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයෙක් නැහැ. කිසිම පළාත් සභාවක නැහැ. එය එසේ වුවද විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා ඒ පළාත් සභාවල වැඩකටයුතු සඳහා. එතකොට මේ මුදල් කන්දරාව හසුරවන්නේ, ප්‍රමුඛතා හඳුනා ගන්නේ, මොන මොන කාරණා සඳහා ද ඒ මුදල වියදම් කරන්නේ කියන කාරණය පිළිබඳ තීරණ ගන්නේ ආණ්ඩුකාරවරයා. සම්පූර්ණයෙන්ම ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි තමයි මේ මූල්‍ය සම්පත් අද භාවිතා කෙරෙන්නේ. ජනතාව නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙකු ඒ වැඩකටයුතුවලට සම්බන්ධ වන්නේ නැහැ. අපි දකිනවා ඒක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් කියලා.

මෙරට ජනතාව භුක්ති විඳින අයිතිවාසිකම් සියල්ලකම උල්පත හැටියට හඳුනා දෙන්න පුළුවන් වන්නේ සර්වජන ඡන්ද බලය. විටින් විට නිසි කාලයේ මැතිවරණ පැවැත්විය යුතුයි.

එදා පැවති ඡන්ද ක්‍රමය අහෝසි කරන්න. හැබැයි ඒ වෙනුවට අලුත් ඡන්ද ක්‍රමයක් ආදේශ කිරීමේ කටයුත්ත සම්පූර්ණ කරේ නැහැ. එම නිසා මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මැතිවරණ ක්‍රමය නිශ්චිත වශයෙන් නිර්වචනය කරලා නැති නිසා.

දේශපාලන පක්ෂ 43ක ලේකම්වරු සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාව හමුවෙලා බොහොම පැහැදිලිව, ලිඛිතව ප්‍රකාශ කරලා 2017 ට පෙර පැවැති මැතිවරණ ක්‍රමය අනුව මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා. අංග සම්පූර්ණ මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කිරීමේ මුවාවෙන් දිගින් දිගටම මේ රටේ ඡන්ද කල් දැමීමට පුළුවන්කමක් නැහැ”

ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

දේශපාලන පක්‍ෂවල දේශපාලන පක්ෂවල නියෝජිතයන් එකඟ වෙනවා කියලා සියයට 25 ක් අපේක්ෂකයන් තරුණ හෝ කාන්තා යන කාණ්ඩවලට අයත් වන විදිහට ඒ වැඩකටයුතු සලසා දෙනවා කියලා. එවිට ඉතාමත් සරළ සංශෝධනයක් මේ සඳහා අවශ්‍ය වන්නේ. මේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වන මූල්‍ය සම්පත් සම්පූර්ණ වශයෙන්ම ලබා දීලා තියෙනවා” යැයි වැඩි දුරටත් කීය.

මෙම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් සහභාගි වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය.

“ඇත්තටම මේ පළාත් සභා නිර්මාණය කිරීම කරගත්තේ කොච්චර අමාරුවෙන්ද? මේකේ අතීතය, අද බොහොම දෙනෙකුට අමතක වෙලා. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව, මේ ‘ජෙන් සී‘ කියන පරම්පරාව අද මේවා ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා, මොනතරම් කුරිරු අන්දමින්ද පළාත් සභා නිර්මාණය වුණේ කියලා.

ඒකේ වින්දිතයෙක් වශයෙන් මම, එදත් පළාත් සභාවලට වැඩ කරලා මගේ ඇඟේ, මගේ මේ මෙතන බෝම්බ කෑලි දෙකයි, මේ දකුණු උරහිසේ බෝම්බ කෑල්ලයි තියෙනවා. පළාත් සභාව වෙනුවෙන් ඒ වේදිකාවල, පළාත් සභාව වෙනුවෙන් ජනතාව ඉදිරියේ කතා කරමින් ඉද්දි. ඒ නිසා ඉතාම මේ පළාත් සභා කියන එක මෙරට ඉතිහාසයේම ඇත්තටම සන්ධිස්ථානයක්.

ඒක මහා ගිනි ජාලාවක්.. මුළු රටම ගින්දර, ගිනි පත්තු වෙලා තමයි මේක පටන් ගත්තේ. උතුරේ ත්‍රස්තවාදීනුත් මේකට විරුද්ධ වුණා, දකුණේ ත්‍රස්තවාදීනුත් විරුද්ධ වුණා. උතුරේ කට්ටිය කිව්වා, ”මේ බලය අපිට වැඩක් නැහැ. අපිට ඕනේ ෆෙඩරල් වලටත් එහා යන බලයක් කියලා. දකුණේ ත්‍රස්තවාදීන් කිව්වා, ”මේක රට කැඩෙන බලවේගයක්” කියලා.

මෙන්න මෙවැනි සන්ධිස්ථානයක තමයි මේක තිබුණේ. එවිට 1987 ඇතිවුණ වාර්ගික කෝලහාල තුළ මේ ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කළා. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිටත් පහර දුන්නා. ඒ වගේ තත්ත්වයක් මේ රටේ නිර්මාණය වෙලා තිබුණේ එදා, අරාජික තත්ත්වයක්. එතනින් තමයි, ඉන්දු-ලංකා ගිවිසුම යටතේ තමයි ඇත්තටම මේ පළාත් සභා නිර්මාණය වුණේ.

බලය බෙදීමට ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ රජය, එදා බලය බෙදීමට ක්‍රියා කළා ජේ. ආර්. ජයවර්ධන මහත්මයාගේ නායකත්වයෙන්. ඒ වන විට බලය බෙදීමට අපි විරුද්ධ පක්ෂයේ ඉඳලා, වමේ ව්‍යාපාරය, පැහැදිලිවම අපි හිටගත්තා මේ බලය බෙදීම සඳහා.

ජේ.වී.පී එක තනිකරම මුළු රටම ගිනි තිබ්බා මේකට විරුද්ධව. මේකට කිව්වා ”පළා බබා” කියලා. ”පළා බබා අපිට එපා” කියලා පාසල් ශිෂ්‍යයෝ පවා පාරට ඇද්දා. ”එක පළාත් සභාවක සිට අනිත් පළාත් සභාවට ගමන් කිරීමට වීසා බලපත්‍රයක් ඕනේ” කිව්වා. ”බස්නාහිර පළාත් සභාවේ ඉඳලා කවුරුහරි වයඹ පළාත් සභාවට යනවා නම් වීසා බලපත්‍රයක් ඕනේ” කිව්වා. එහෙමයි කට්ටියව දැනුවත් කරේ එදා මේ දරුවන්ව.

මේ ප්‍රචණ්ඩත්වයේදී, මම පෙන්නන්න ඕනේ මේක කොච්චර අමාරුවෙන්ද මේ පළාත් සභා ඇත්තටම එදා රජයට මේක ක්‍රියාත්මක කරන්න වුණේ කියලා. මේ සඳහා, මේ ක්‍රියාවලියේදී ජනතා විමුක්ති පෙරමුණ ඝාතන 6,661ක් කළා, මේ රටේ මිනිස්සුන්ව මැරුවා. කවුද මේ මැරුවේ? එක්සත් ජාතික පක්ෂයේ විතරක් 1,783ක් මැරුවා. එක්සත් ජාතික පක්ෂයේ අන්තිමට ඉතුරු වුණේ මේ තරම් විශාල ප්‍රමාණයක් නැතිවෙලා තමයි එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රබලව ලංකාවේ හිටපු විශාලම දේශපාලන පක්ෂය, 1,783ක් මේකට ඝාතනයට ලක්වුණා.

මම මේ කියන්නේ සංඛ්‍යාලේඛන. මේ තියෙන්නේ කොම්රේඩ් ලයනල් කියන, ධර්මන් වික්‍රමරත්න. ඔබතුමාලා දන්නවා මේ මාධ්‍යවේදියා එදා හිටියේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දීලා, මොහුත් අත්අඩංගුවට පත්වුණා. නැතුව ජේ.වී.පී විරෝධියෙක් නොවෙයි. මේ සියලුම සංඛ්‍යාලේඛන අරගෙන, ඒකෙදි රජයේ සේවකයෝ 485 දෙනෙක්ව මැරුවා.

පොලිස් නිලධාරීන් 357ක් මැරුවා. හමුදා නිලධාරීන් 15 දෙනෙක් මැරුවා, හමුදා සෙබළුන් 202ක් මැරුවා. පොලිස් පවුල්වල මිනිස්සු, තමන්ගේ දරුවා හරි කවුරුහරි ඉන්නවායි කියලා 92 ක් මැරුවා. හමුදාවේ පවුල්වල කට්ටිය 70ක් මැරුවා.

සරසවිය හා පාසල් සිසුන් මැරුවා 187 දෙනෙක්ව. මෙන්න එදා තිබුණු තත්ත්වය. විදුහල්පතිවරු 52යි. භික්ෂූන් වහන්සේලා 41 නමක් මැරුවා. වැල්ලෙතොට පඤ්ඤාදස්සි හාමුදුරුවෝ කියන්නේ මුළු දකුණටම හිටපු ශ්‍රේෂ්ඨතම නායක හාමුදුරුවෝ, වැල්ලේතොට පඤ්ඤාදස්සි හාමුදුරුවන්වත් මැරුවා. අපිට පුදුම හිතුණා ඒ වගේ හාමුදුරුවෝ කෙනෙක්ව ඝාතනයට පත් කරන්න පුළුවන් වුණ එක ගැන” යැයි ජාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළා.

ජාතික සමගි පෙරමුණේ නායක හිටපු අමාත්‍ය අසාද් සාලි මහතා එම මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්වීය.

“පළාත් සභා මෙරටට හදුනාදුන්නේ විශාල ප්‍රශ්නවලට මුහුණ සිදුවුණා. ටිල්වින් සිල්වා දිවුරුම් දුන්නේ කවදාද කියලා දන්නේ නෑ. ටිල්වින් සිල්වා මැතිවරණ කොමිසමේ සභාපති වෙලා තියෙනවා. වෙන කාලයක මෙහෙම ප්‍රකශයක් වෙන කෙනෙක් කළා නම් ටිල්වින් සහ අනුර දැන් පාරට බැහැලා.

පළාත් සභා කියන්නේ විශාල වැඩකොටසක් කළා. දැන් පළාත් සභාවලින් මුකුත් වෙන්නේ නෑ. දැන් පළාත් සභාවල වගකීම ගන්න කෙනෙක් නෑ. ඒ නිසා වාහාම පළාත් සභා මැතිවරණ පවත්වන්න යැයි ‘මාලිමා’ ආණ්ඩුවට ජාතික සමගි පෙරමුණ බලකර සිටිනවා” යැයි අසාද් සාලි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය වඩුවෙල් සුරේෂ් මහතා එහිදී මෙසේ පැවසීය.

“පළාත් සභාවලට ජනතා ඡන්දයෙන් පත්කළ මන්ත්‍රීවරු නොමැතිවීම හේතුවෙන් විශාල අරුබුදයක් ඇතිවී තිබෙනවා. ‘මාලිමා’ ආණ්ඩුවේ අයට වතුකරට ඇවිත් බලන ලෙස පවසනවා. අපේ ප්‍රදේශවල කටයුතු ඇන හිටලා. බොහෝ ආයතනවල සේවකයන් නෑ. ආණ්ඩුකාරවයාට පත්වීම් දෙන්න බෑ. සීමාවක් තියෙනවා.

ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ හැකි ඉක්මනින් පළාත් සභා පැතිවරණය පවත්වා ජනතාවට සේවය කරන්න අවස්ථාව සඵසන්න” යැයි ප්‍රකාශ කළේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි මහ ලේකම් එම්. ඒ. සුමන්තිරම් මහතා එහිදී මෙසේ පැවසීය.  

“ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වීමට ඇති භිය නිසා මැතිවරණය පවත්වන්නේ නැතැයි ප්‍රකාශ කරන බවට කෙළින්ම චොද්නා කරනවා. නීතිපතිතුමා උපදෙස් දී තිබෙනවා පාර්ලිමේන්තු කාරක සභාවට පැරණි ක්‍රමයට ඡන්දය පවත්වන්න හැකියාව තියෙනවා කියලා. පළාත් සභාව මැතිවරණය කල්දාන්න බෑ මැතිවරණය පැවැත්විය යුතු යැයි ආණ්ඩුවට සියලුම දෙනනා එකතු වී බලකරනවා” යැයි සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීදහස් පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, හිටපු අමාත්‍ය පියල් නිශාන්ත සහ සුගීෂ්ර බණ්ඩාර යන මහත්වරු ඇතුළු පක්‍ෂ නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, මුස්ලිම් වාමාංශික පෙරමුණ, පොදුජන එක්සත් දේශීය පක්ෂය, නව ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික සමගි සන්ධානය සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු පක්‍ෂ 30 කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

ඡායාරූපය:

හිටපු අමාත්‍යවරු වන ලසන්ත අලගිවන්න, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, අසාද් සාලි සහ වජිර අබේවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එම්. ඒ. සුමන්දිරම් යන මහත්වරු ඇතුළු පක්‍ෂ නියෝජිතයෝ ද මෙහි වෙති.

(ඡායාරූපය: ඉසුරු පෙරේරා)