
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිවාස සහ වෙළඳ සංකීර්ණයක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා විදේශීය සමාගමකට ලබාදී තිබූ කොළඹ ඩාර්ලි පාරේ අක්කර 01යි පර්චස් 26.5 ක ඉඩමක් නියමිත සංවර්ධන කාර්යය ඉටු කිරීම පසෙක දමා වෙනත් සමාගමකට පවරා ඇති බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය
පසුව දෙවන සමාගම තෙවැනි සමාගමකට 2017 වර්ෂයේදී උක්ත ඉඩමේ අංක 5 කොටස විකිණීමෙන් පසුව නිවාස සංවර්ධන අධිකාරිය එම විකුණුම් ඔප්පුව අවලංගු කරීම නිසා, ඊට එරෙහිව තෙවැනි සමාගම නඩු තුනක් අධිකරණය හමුවේ පවරා අැතැයි කෝප් කමිටුව පවසයි.
මේ සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝව සලකා බැලිණ. මීට අදාළව මෙම නඩු වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පරීක්ෂණයක්ද පවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙම ඉඩමේ අයිතිය තවමත් අධිකාරිය සතු පවතින බවද ඔවුහු පැවසූහ.
එමෙන්ම නාවල පරංගියා කුඹුර ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම ඉඩම කොන්දේසි සහිතව සින්නක්කර ඔප්පුවකින් පෞද්ගලික සමාගමකට පවරා තිබුණි. පසුව එම සමාගම ඉඩමෙන් කොටසක් වෙනත් සමාගමකට පවරා අනෙත් කොටස, පෞද්ගලික බැංකුවකට උකස් කර මුදල් ලබාගෙන තිබු බව කියති. මෙම ඉඩමේද ඔප්පු අධිකාරිය අවලංගු කිරීම නිසා චූදිත සමාගම, අධිකාරියට විරුද්ධව නඩු පවරා අැත. එසේම මෙම ඉඩම තමාගේ පෞද්ගලික ඉඩමක් ලෙස ප්‍රකාශ කරමින් අයිතිය ගැනීම සඳහා පුද්ගලයෙකු අධිකරණයෙහි නඩු පවරා ඇති බවද මෙහිදී තොරතුරැ අනාවරණය විය.
මෙම නඩු තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ.
තවද මාලිගාවත්ත මහල් නිවාසයේ පවත්වාගෙන යන පෙර පාසලකට අදාළ ඉඩම් කොටසක් සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ තොරතුරැ හෙළිවිය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතිඥ සුජීව සේනසිංහ, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, තිලිණ සමරකෝන්, සුදත් බලගල්ල, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd