
සීගිරි ගීයට පිළිවදන් ලියූ
අනුරාධාගේ මුහුලු මුක්තක
දල්වා නොදල්වා මුදු ඇසක මී රැස
අල්වා මුළා රැහැනක හොවා අනුහස
ගල්වා කොකුම්, කුංකුම අඳුන් මදහස
ඉල්වා ගත නොහේ දිගැසියක අමරස
"මුහුලු මුක්තක " -සියයක් සීගිරි පිළිවදන් ගී, අනුරාධා නිල්මිණී නම් වූ සුභාවිත කිවිඳියගේ නවතම කාව්‍ය සංග්‍රහය, දෙතුන් වතාවක් කියවා මනසේ ඇඳුණු සුගන්ධවත්, රසාලිප්ත මනෝභාවය සමඟ මෙය ලියන්නට සිත් විය.
දේශීය පද්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම පද්‍ය සාහිත්‍ය ලා ගැනෙන, අනුරාධපුර යුගයේ 8,9,10 සියවස්වලදී ලියැවුණු සීගිරි කුරුටු ගී සංස්කෘත හා භාරතීය සාහිත්‍ය ඇසුරු කළ වුන්ගේ මෙන්ම සාමාන්‍ය පොදු ගැමි ජනයාගේද අද්විතීය භාෂා ඥානය හෙළි කරන්නකි. සෙනරත් පරණවිතානයන් තම "Sigiri Geaffitti" කෘතියෙන් පෙන්වා දෙන්නේ සංස්කෘත ආභාසයට වඩා සීගිරි ගීයේ "උබබස්" ලංකරණයක් හමුවන බවය. එය සිංහලයාට විශේෂ වූවක් ලෙස ඔහු හදුන්වා දේ. අනුරාධා නිල්මිණී අතගසන්නේ මේ පැරණි සීගිරියේ උත්කෘෂ්ඨ භාවයටයි. අපගේ අස්පර්ශීය උරුමයටයි. එවන් උරුමයකට නොබියව අත පෙවිය හැකි නිර්භීත බව ඇය සතු වන්නීය.
මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සොයා පාදාගෙන අප වෙත ඉතිරි කළ සීගිරි ගී 685 තුළ පුරුෂ ආස්ථානය හෙළිදරව් වන සීගිරි ගී 100 ක් පමණක් තෝරාගන්නා අනුරාධා ඊට සීගිරි හිමබි පිළි'මන ලියන්නේ පූජාවකට යන උවැසියක සේ බැතිනි.
සඳ කැන් නිවී
සඳකත්මිණ අඳුරේද
මඳ කොඳ තඹුරු
නොපිපී කොහි පරවේද
අඳ නෙත් නුඹේ
දුට දුට පැහැ හඳුනාද
හද මත් කළ කෙනෙක්
කිසි දින හැරයාද?
ඈ ඒ පිළිතුර ලියන්නේ,
"ඇතැම් තැනැ පිරිබුන් ඇතම් තනැ පැහැපැහන්
සිකි කල්හි ලයු මෙ කල්හි එ කල්හි (නැ)ත ළපබන්දො"
නම් වූ සීගිරි ගීයටයි.
මුක්තක යනු කුමක්දැයි විමසන කළ එය පැරණි සිංහල කවීන් අනුදත් මාර්ගයකි. එනම් තනි කවියකින් මහත් මනෝභාවයක් ප්‍රකාශ කිරීමයි.
" මුක්තක යනු වෙන වෙනම නිශ්ඨා ඇති, අන්‍ය සබඳතා නැති, වියතුන්ගේ චමත්කාරය දන්වන්නට නිසි එකම පදයකින් අවසන් වන නිර්මාණයෝයැයි පැරණියෝ අරුත් නිර්මාණය කළහ" යැයි වි. ජ.මු ලොකුබණඩාර මහතා සිය "අග්නි පුරාණය- සීගිරි ගී සර" නම් වූ කෘතියේදී පෙන්වා දෙයි. එසේ නම් කෙටි කවියක් සිංහල පද්‍ය සාහිත්‍යයේ තිබූ බවට ඉඟියකි මුක්තක. හයිකු ,වකා, තන්කා,සිජෝ බඳු පෙරදිග කෙටි කවිය සමඟ මුක්තක සැඟව ගියේ ඇයි.?අනුරාධා යළි සිංහල කවියට මුක්තක බන්ධන රැගෙන එන්නීය.
මෙතෙක් කලක් රචිත අනුරාධා ගේ කාව්‍ය ග්‍රන්ථ බොහොමයක් ගෙන බැලූ විට ඈ වෙහෙසකර, දීර්ඝ පර්යේෂණයක් තුළින් තම කෘතිය සමාජයට දායාද කරන්නියකි. "නාරි සූත්‍රය", "වැලිකඩ අස්න" වැනි කාව්‍යාලේඛන පිරික්සද්දී සිංහල කවියට ඇගේ නිර්ව්‍යාජ දායකත්වය මැනවින් පෙනේ.ඇය කාව්‍යකරණයේදී නිසඟ ස්ත්‍රී ආස්ථානය වෙනුවෙන් හඬ නඟන්නියකි. මොනිකා රුවන් පතිරණ කිවිඳියට පසු ස්ත්‍රීන් වෙනුවෙන් නිර්ව්‍යාජව හඬක් එක්කළ එකම කිවිඳිය අනුරාධා නිල්මිණීය. දැන් ඊට එකතු වන්නේ සිගිරි ගී අධ්‍යයනයෙන් එළිදැක්වුණු සීගිරි ලලනාවගේ හෘද සාක්ෂිය නම් වූ " මුහුලු මුක්තක"යි.
පවස නිවෙනු නම්
සා, මිග, විහඟ විලසා,
විගස ඇස් බිඳක් දෙමි
නුරා මුකුලක ගවසා,
අයස දකිනු රිසි නම්
හැඟුම් ඉවසා
නි'වසනුන් හදෙහි සොව
කියමි කෑ ගසා පවසා
සීගිරී කුළේ ගල් වී සිටින, නොතෙපළන , නුරාව වස්සන ලලනාවන් දෙස බැලූ පුරුෂ ආස්ථානයට පිළිතුරු ලැබෙන්නේ පරිභවයෙන්, තරහින්, අවමානයෙන් නොවේ. ස්ත්‍රියක සතු ලාලිත්‍යයෙනි. සංවේදී බවිනි. කාරුණිකත්වයෙනි,දයාවෙනි. විටෙක මව්වත් බවිනි. සීගිරි ගීයේ ඇති සන්සුන් බව, සංයමය, විනීත බව ආදිය පිළිතුරු කවියේදි ආරක්ෂා කරගැනීමට කිවිඳිය දක්ෂ වී ඇත.
"කිවිඳියගේ අදීනත්වය, අව්‍යාජත්වය, සංයමය, පරිණත බව සීගිරි හිමබි - පිළිමන මගින් මනාව විශද කරයි. පුරුෂයන්ගේ අනුරාග පබැඳුම්වලට කිවිඳිය පිළිතුරු බඳිනුයේ මුවඟ මඳහාස නගාගත් සුන්දර යුවතියක පරිද්දෙනි" යනුවෙන් කෘතියට පසු විවරණයක් ලියන මහාචාර්ය ලතා ගුරුසිංහ මහත්මිය කියන්නීය.
අලුයම හදෙහි තවරා
නැග, පව් බෙය ද
සළුවක හොවා
වැටකොළු, කටරොළු සුවඳ
දලුවක් මිටින් ගෙන
හසරැල්ලක් පැලඳ
නෙළුමක් ඇහැරවූ
ඔබ, කවුරුද සබඳ
සීගිරි -හිමබි පිළි'මන කියවන්නා නිතැතින්ම නිවෙයි. කියවන්නා අවට උදෑසන පිපුණු සොඳුරු සුදු නෙළුමක සුවඳ පැතිරේ. සීගිරි කවියේ වර්ණය එලෙසින්ම තම පිළිතුරේදී ආරක්ෂා කරගැනීමට කිවිඳිය ගත් උත්සාහය විශිෂ්ටයි. ඇයගේ පරිණතභාවයේ සාක්ෂිය එයයි. වචනවලට එහා ගිය වර්ණයක් හිමබි පිළි'මන තුළින් අපට දැනේ. පරිණත කවියකුට පමණක්ම කළ හැකි ඒ ප්‍රාතිහාර්යය අනුරාධා ඉටු කර ඇත.
රියන්සෙන් පැවිජන ( ගී)
උකැටැලි( වි) අ(යි)මි උකැටැලි බලනට නවත
තුප උකැටැලී දිනි බෙයදහි රන්වනනි නොබණ
ඇවතුනි, හා! දනිමි
නො'දිසේය විනිස
පැවතුණු කෙනකු වෙද
යම්, තම අභය පිණිස
අ'වැඩය අයසම ය
දැන, එය හදින් ගිවිස
නැවැතුණු තැන දකිනු
යන මගට පිවිස
රියන් සෙන් නමැති පැවිද්දා ලියූ එ ගීයට පිළිතුරු ලැබෙන්නේ බෞද්ධ සංස්කෘතියෙන් සංයමයට පත් කාන්තාවකගේ දෘෂ්ටියෙනි. නිර්දය විවේචනය, පරිභව කිරීම හෝ නිගරු කිරීම වෙනුවට ඈ තෝරාගන්නේ ධර්මාවබෝධය දීමයි. කොතරම් අගේද? කලකිරුණු පැවිද්දාට වුව කිවිඳිය දක්වන මව් වත් කරුණාව. අනුරාගයෙන් මත් වූ පුරුෂ ආස්ථානයට බොහෝ විට කිවිඳිය පිළිතුරු දීමට තෝරාගන්නේ බෞද්ධ දර්ශනයයි.
අනුරාගයෙන් මත් වූ යම් පුරුෂයකුට විටෙක ඇය පිළිතුරු දෙන්නේ උපහාසාත්මකවය. ඒ උපහාසය මිස අපහාසය නොවේ. තම වරද තමාටම පෙනීමට සැලැස්වීමකි.
පිපෙත් විල් කුසුම්
අණවර ලැබ නොලැබ
හැපෙත් වැද පවන්
කඳු බඳ හා නිලඹ
නොපත් කම් නොදත්
දළ පිළි හැඳි සලබ
විපත් අත ළඟයි,
පිටවනු! සිහි එළැඹ
සීගිරි - හිමබි පිළි'මන කියවන්නාගේ හෘදය ළා පවන් සැලී වැදෙන දල්ලකි. රාත්‍රියේ පිපී එන සමන් පිච්ච පුසුඹකි. මනස නිදහස් විහඟෙකි. සන්සුන් භාවනාවකි.
සිංහල කවියේ ප්‍රගමනය ගැන කතාකරන , උනන්දුවන සියලුම දෙනාට දෙවරක් නොසිතා තෝරාගත හැකි මාහැඟි කෘතියකි "මුහුලු මුක්තක". කිවිඳියගේ බොහෝ පර්යේෂණ කෘති මෙන් කතා බහෙන්, විචාරයෙන් තොරව මුළුගන්වා තැබිය යුතු කෘතියක් නොවේ මෙය. කාව්‍යකරණයේ කිසිවකු සමඟ තරගයක් නැති කිවිඳියක ලෙස ඇයගේ කෘතීන් පිළිබඳව ඇය දරන්නේ උපේක්ෂා සහගත ආකල්පයකි. දැනටමත් ඇයගේ සමහර කෘතීන් විශ්ව විද්‍යාල මට්ටමින් ප්‍රයෝජනයට ගන්නා මුත් කාව්‍ය ලෝකයේ සංවාදයට බඳුන් වූයේ නැති තරම් ය.
කෙසේ නමුදු "මුහුලු මුක්තක" සිංහල කාව්‍ය ලෝකයට පිපුණු අකලංක සියපතක් සේ මම හඟිමි. කාව්‍ය ලෝකයේ ප්‍රගමනය පිණිස කිවිඳියගේ අනාගත කාව්‍යකරණයට ඉත සිතින් සුබ පතමි.
සජීවිකා වීරතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd