ජූනියේ දිගු සන්ධ්‍ය ආලෝකය රාත්‍රියෙහි ගිලී ගියේය. නගරයේ වීදි මතත් ලිෆී ගංගාවේ අඳුරු ජලකඳ මතත් වලාකුළු කැටි තුළින් පෙරී ආ මලානික සඳඑළිය විසින් හිමිදිරිය උදාවන්නට ආසන්නයේ නැගෙන දීප්තිය බඳුව තවරා තිබූ සුදුමැලි ආලෝකය හැරෙන්නට ඩබ්ලින් නගරයම අඳුරින් වැසී තිබුණි. වට කරනු ලැබූ උසාවි සංකීර්ණය අවට බර අවි ගිගුම් දුන්නේය. නගරය පුරාම හුදෙකලා ගොවිපොළවල බල්ලන් බුරන්නාක් මෙන් අතරින් පතර හඬ නැගූ මැෂින් තුවක්කු හා රයිෆල් රාත්‍රියේ නිශ්චලබව බිඳ දැමීය. සමූහාණ්ඩුවාදීහු හා නිදහස් රාජ්‍යවාදීහු සිවිල් යුද්ධයක නිරතව සිටියහ. 

ඔ‘කොනල් පාලම අසල වහලක් මත  වෙඩික්කරුවෙක් අවට නිරීක්ෂණය කරමින් වැතිර උන්නේය. රයිෆලය ඔහුගේ පසෙකින් වූ අතර උරහිසෙහි එල්ලාගත් දුරදක්නයක් විය. ඔහුට ශිෂ්‍යයෙකුගේ මෙන් කෙසඟ, සංයමයෙන් යුතු මුහුණක් තිබුණ ද දෑසෙහි වූයේ අන්තවාදයෙන් උමතු වූවකුගේ අනුකම්පා විරහිත දීප්තියයි. ඒවා මරණය දකින්නට හුරු වූවකුගේ ගැඹුරු, කල්පනාබරිත දැස් විය. 

ඔහු දැනුණ දැඩි කුසගින්න මකාගනු වස් සෑන්ඩ්විච් එකක් කමින් හුන්නේය. එදින උදයේ පටන්ම ඔහුට කිසිදු ආහාරයක් ලැබී තිබුණේ නැත. ආහාරයක් ගැනීමට තරම්වත් ඉස්පාසුවක් තිබුණේ ද නැත. සෑන්ඩ්විචය කා හමාර කළ ඔහු සාක්කුවෙන් විස්කි බෝතලයක් එළියට ගෙන කුඩා උගුරක් බී බෝතලය නැවතත් සාක්කුවට දමාගත්තේය. දුමක් ඇදීමේ අවදානම ගන්නවාදැයි ඔහු මොහොතකට සිතා බැලීය. එය අනතුරුදායක ක්‍රියාවකි. ගිනි පුලිඟුවේ දීප්තිය අඳුරේ පෙනෙන්නට ඉඩ තිබේ. සතුරෝ අවට නිරීක්ෂණය කරමින් බලා සිටිති. අවදානමට මුහුණ දෙන්නට ඔහු තීරණය කළේය.

සිගරැට්ටුවක් දෙතොල‘තර රුවාගත් ඔහු ගිනිකූරක් ගසා කඩිමුඩියේම දුම් උගුරක් ඇද ගිනිකූර නිවා දැමීය. එකෙනෙහිම ආ උණ්ඩයක් වහලයේ කෙටි බිත්තිය තුළ ගිලී ගියේය. වෙඩික්කරුවා තවත් දුම් උගුරක් ඇද සිගරැට්ටුව නිවා දමා සිහින් හඬින් කුණුහරුපයක් පිටකර වම්පසට බඩගා ගියේය.

ඉතාමත් පරෙස්සමෙන් මදක් ඉහළට එසැවුණු ඔහු කෙටි තාප්පයට උඩින් එබී බැලීය. ක්ෂණයකින් නැගුණ ආලෝකයක් සමග උණ්ඩයක් ඔහුගේ හිසට ඉහළින් පියෑඹීය. එසැණින් ඔහු වහල මත දිගාවිය. ආලෝකය නැගුන ස්ථානය ඔහුට දකින්නට ලැබිණ. එය ආවේ වීදියේ අනෙක් පැත්තෙනි. 

පසුපසින් පිහිටි දුම් කවුළුවක් දක්වා වහල මත රෝල් වී ගිය ඔහු තම දෑස කෙටි තාප්පයේ මට්ටමට එනතෙක් එයට පිටුපසින් සෙමින් ඉහළට එසැවුණේය. පෙනෙන්නට තරම් දෙයක් නොවීය. තිබුණේ නිල් අහසට පසුබිම් වී අඳුරු ඡායාවක් මෙන් විරුද්ධ දිශාවෙන් පෙනුණ නිවසේ වහල මුදුනත ය. සතුරා ආරක්ෂිතව සැඟවී සිටී.

එවිටම පාලම පසුකර පැමිණි සන්නද්ධ රථයක් සෙමින් වීදිය දිගේ ඉදිරියට ඇදුණි. එය පාරේ විරුද්ධ පැත්තේ යාර පනහක් එපිටින් නැවතිණ.වෙඩික්කරුවාට එන්ජිමෙන් නැගුණ රළු ශබ්දය ද ඇසිණ. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගති. එය සතුරු රථයකි. වෙඩිතැබීමට අවශ්‍ය වුවද එය තේරුමක් නැති දෙයක් බව ඔහු දැන සිටියේය. ඔහු එල්ල කරන උණ්ඩ කෙසේවත්  යකෙකු මෙන් නැගී සිටි රථය ආවරණය කර තිබූ වානේ තහඩු පසාරු කරගෙන නොයනු ඇත. 

වීදියේ කෙළවර වූ අතුරු පාරකින් වැරහැලි සළුවකින් හිස වසාගත් මහලු ගැහැයක් මතුවිය. ඇය සන්නද්ධ රථයේ අටල්ල තුළ සිටි මිනිසා සමග කතා කරන්නට පටන් ගත්තාය.  වෙඩික්කරුවා සිටි වහලය දෙසට ඇගේ අතක් දිගු විය. ඔත්තුකාරයෙක්! 

අටල්ල විවෘත විය. මිනිසෙකුගේ හිසත් උරහිසුත් මතුවී වෙඩික්කරුවා සිටි දෙසට හැරිණ. රයිෆලය එසවූ වෙඩික්කරුවා කොකා ගැස්සීය. හිස අටල්ලේ පැත්තක වැදී කඩා වැටිණ. ගැහැනිය අතුරු මාවත දෙසට දුවන්නට වූවාය. වෙඩික්කරුවා යළිත් කොකා ගැස්සීය. ගැහැනිය රවුමක් කැරකී මරහඬ දෙමින් කානුවට ඇදවැටුණාය.

සැණෙකින් විරුද්ධ පැත්තේ වහලයෙන් වෙඩි හඬක් නැගිණ. මුවින් නික්මුන පරුෂ වචනයත් සමගම රයිෆලය ඔහු අතින් අතහැරිණ. රයිෆලය හඬ නගමින් වහලය මතට ඇදවැටිණ. වෙඩික්කරුට දැනුණේ මළ මිනිසකු වුවද අවදි කරන්නට තරම් ශබ්දයක් නැගුණ බවයි. රයිෆලය අහුලා ගැනීම සඳහා ඔහු ඉදිරියට පාත්විය. එහෙත් ඔහුට එය ඔසවාගැනීමට නොහැකි විය. ඔහුගේ බාහුව අප්‍රාණික වී තිබිණ. "මට වැදිලා." ඔහු කෙඳිරීය.

වහලට මතට පතිත වී දිගඇදුණ ඔහු යළිත් කෙටි තාප්පය දෙසට බඩගාගෙන ගියේය. සිය වමතින් දකුණු බාහුව අතගා බැලීය.කබායේ අත මතින් ලේ වෑස්සෙමින් තිබිණ. වේදනාවක් නොදැනිණ. තිබුණේ කිසිවක් නොදැනෙන, අත කපා දැමුවාක් මෙන් හැඟෙන දැනීමකි. 

ඔහු කඩිනමින් සාක්කුවේ තිබූ පිහිය ඇද කෙටි තාප්පයේ ගැට්ටට තදකර විවෘත කර කබායේ අත කපා දැමීය. උණ්ඩය ඇතුළු වූ තැන කුඩා සිදුරක් සෑදී තිබිණ. එහෙත් අනෙක් පැත්තේ සිදුරක් නොවීය. උණ්ඩය ඇටය තුළට කාවැදී නතර වී ඇත. ඉන් ඇටය පුපුරා යන්නට ඇත. ඔහු තුවාලයට පහළින් බාහුව නමා බැලීය. එය පහසුවෙන්ම  ආපස්සට නැමුණේය. දත්මිටි කමින් ඔහු වේදනාව දරාගැනීමට උත්සාහ කළේය. 

ප්‍රථමාධාර පැකට්ටුව එළියට ගත් ඔහු පිහියෙන් එය කපා විවෘත කොට අයඩින් බෝතලයේ කට කඩා එහි තුළ වූ අඳුරු පැහැති දියරය තුවාලයට වත් කළේය. දරාගත නොහැකි වේදනාවක් ගත පුරා පැතිර ගියේය. තුවාලය මත කපු පුළුන් කැබැල්ල තැබූ ඔහු වෙළුම් පටියෙන් එය ඔතා කෙළවර දතින් අල්ලා ගැටයක් දැම්මේය. 

ඊළඟට කෙටි තාප්පයට හේත්තු වී දෑස පියාගත් ඔහු වේදනාව යටපත් කරගැනීමට දැඩි වෙහෙසක් ගත්තේය. 

පහළ වීදියේ සියල්ල නිශ්චල ය. සන්නද්ධ රථය, මැෂින් තුවක්කුකරුගේ අප්‍රාණික හිස අටල්ල මත එල්ලෙමින් තිබියදීම  පාලම හරහා වේගයෙන් පසුබැස තිබිණ. ගැහැනියගේ මළසිරුර තවමත් කානුවේ ය. 

වෙඩික්කරුවා තුවාල වූ අතට සාත්තු කරමින් ද ගැලවී යාමට හැකි සැලසුමක් ගැන සිතමින් ද බොහෝ වේලාවක් වැතිර සිටියේය. උදෑසන වන විට තුවාලවූ ඔහු වහලය මත නොසිටිය යුතුය. විරුද්ධ පස වහලය මත සිටින සතුරා ඔහුට ගැලවී යා නොහැකි ලෙස මුරකාවල් යොදාගෙන සිටී. සතුරා මරා දැමිය යුතු වුවද ඔහුට රයිෆලය හැසිරවිය නොහැකි ය. ඒ සඳහා ඇත්තේ රිවෝල්වරය පමණි.  කෙමෙන් සැලසුමක් සිතට ඇතුළු විය. 

හිස්වැසුම ගැලවූ ඔහු එය රයිෆලයේ කට මත රැඳවීය. ඊළඟට වීදියේ අනෙක් පසට තොප්පිය පෙනෙන සේ  රයිෆලය කෙටි තාප්පය මතින් සෙමෙන් ඉහළට එසැවීය. එකෙණෙහිම වෙඩි ශබ්දයක් නැගිණ. උණ්ඩයක් තොප්පියේ හරි මැදට වැදී එය පසාරු කරගෙන ගියේය. වෙඩික්කරුවා රයිෆලය ඉදිරියට ඇල කළේය. තොප්පිය ගිලිහී පහළ වීදියට ඇදවැටිණ.  වමතින් රයිෆලය හරි මැදින් අල්ලාගත් වෙඩික්කරු අත අප්‍රාණික ලෙස වහලයෙන් පහළට එල්ලා වැටෙන්නට ඉඩහැර සුළු මොහොතකට පසු රයිෆලය පහළ වූ වීදියට වැටෙන්නට සැලැස්වීය. ඉන්පසු ඔහු අත ආපසු ඇදගනිමින් වහලය මතට පහත් විය. 

වහා එසැවී දෙපා මත ඇණතියාගත් ඔහු වහලයේ කෙළවර දෙස එබිකම් කළේය. ඔහුගේ උපාය සාර්ථක වී ඇත. අනෙක් වෙඩික්කරුවා තොප්පිය හා රයිෆලය වැටෙනවා දැක ඔහු අතින් අනෙකා මියගොස් ඇතැයි සිතන්නට ඇත. ඔහු දුම් කවුළු පෙළක් ඉදිරිපිට සිටගෙන වීදිය හරහා බලාගෙන සිටී. ඔහුගේ හිස බටහිර අහස පසුබිමේ ඡායාවක් සේ පැහැදිලිව පෙනේ. 

මුහුණෙහි ඇඳුන සිනහවත් සමග සමූහාණ්ඩුවාදී වෙඩික්කරුවා කෙටි තාප්පයේ ගැට්ටට උඩින් රිවෝල්වරය එසැවීය. දුර යාර පනහක් පමණ ඇත. මද ආලෝකය තුළ දුෂ්කර ඉලක්කයකි. යක්ෂයන් දහසක් ආවේශ වූවාක් මෙන් දකුණු අත වේදනා දෙයි. ඔහු නොසැලී, ස්ථාවරව ඉලක්කය ගත්තේය. ඔහුගේ අත නොඉවසිල්ලෙන් සැලෙන්නට විය. දෙතොල් එකට තදකරගත් ඔහු නාස්පුඩු තුළින් ගැඹුරු හුස්මක් ගෙන කොකා ගැස්සීය. ශබ්දයත් සමගම ඔහු මොහොතකට බිහිරිව ගියාක් මෙනි. ගැස්සීමත් සමග අත ද  ගැස්සී  කම්පනය විය.  

දුමාරය පහව යත්ම අනෙක් පස දෙස එබී බැලූ ඔහු සතුටින් ඉපිල ගොස් ජයග්‍රාහී හඬක් නැගීය. සතුරාට වෙඩිල්ල වැදී තිබේ. මාරාන්තික වූ වේදනාවෙන් ඔහු කෙටි තාප්පයට උඩින් පෙරලී යමින් සිටියේය. ඔහු නොවැටී දෙපා මත සිටගෙන සිටීමට දැඟලූව ද සිහිනයකදී මෙන් සෙමෙන් ඉදිරියට ඇදවැටෙමින් සිටියේය. ඔහුගේ ග්‍රහණයෙන් ගිලිහුණ රයිෆලය කෙටි තාප්පයේ වැදී විසිවී පහත වීදියේ පිහිටි බාබර් සාප්පුවක කණුවේ ගැටී පදිකවේදිකාව මත හඬ නගා පතිත විය. 

මියයමින් සිටි මිනිසා ගුලිවී ඉදිරියට ඇදවැටිණ. හිස් අවකාශයේ කැරකි, කැරකී පැමිණි සිරුර බොල් හඬක් නගමින් පොළොව මත පතිත වී නිශ්චල විය. 

බිමට පතිත වන සතුරා දෙස බැලූ වෙඩික්කරුවා වෙව්ලන්නට පටන්ගත්තේය. සටන කෙරෙහි වූ ලොල්බව මියගියේය. පශ්චාත්තාපය ඔහු වෙළා ගත්තේය. නළලත පබළු වැලක් මෙන්  දහදිය නැගිණ. සිදුවූ තුවාලයත්,  ගිම්හානයේ දිගු දවස පුරාම නිරාහාරව සිටීමත්, වහලය මත සිට කරන්නට සිදුවූ රැකවල් කිරීමත් නිසා දුබලව සිටි ඔහු සිත තුළ  මියගිය සතුරාගේ සිඳී බිඳී ගිය සිරුර ඇති කළේ දැඩි පිළිකුළකි. සටසට හඬින් දත් එකට වැදිණ. ඔහු තමාටම කියවාගැනීමට පටන් ගත්තේය. යුද්ධයට සාප කළේය. තමාටම සාප කරගත්තේය. අන් හැමදෙනාටම ද සාප කළේය.

ඔහු තමා අත වූ දුම් දමන රිවෝල්වරය දෙස බලා සාප කරමින් එය තම පය පාමුල වහලය මත දමා ගැසීය. කම්පනයත් සමග රිවෝල්වරය පත්තු වී උණ්ඩය විදුලියක් මෙන් ඔහු හිස පසු කරමින් ඇදී ගියේය. ඉන් ඇති වූ බිය විසින් ජනිත කරන ලද තිගැස්ම විසින් ඔහු නැවතත් පියවි සිහියට ගෙන ආවේය. මනස ස්ථාවර විය.  සිත වසා සිටි බිය නමැති වලා පටලය විසිර ගොස් සිනහවක් පහළ විය. 

විස්කි බඳුන සාක්කුවෙන් එළියට ගත් ඔහු උගුරක් හිස් කළේය. මත්පැන්වල උණුසුමත් සමග අවදානම අමතක කළ ඔහු කණ්ඩායමේ අණදෙන නිලධාරියා  සොයා ගොස් වාර්තා කිරීමට තීරණය කළේය. අවට හාත්පස පරිසරය නිහඬ වී තිබිණ. වීදියෙහි ගමන් කිරීම එතරම් අනතුරුදායක සේ නොපෙනිණ. රිවෝල්වරය අහුලා සාක්කුවෙහි ලා ගත් ඔහු පියැසි කවුළුව තුළින් පහත වූ නිවෙසට බැස ගත්තේය. 

වෙඩික්කරුවා වීදිය දක්වා විහිදුණු පටු මාවතට පිවිසුන පසුව ඔහු විසින් මරා දමනු ලැබූ වෙඩි තබන්නා කවුරුන් විය හැකිද යන කුතුහලය එක්වරම ඔහු සිතට නැගිණ. කවුරුන් වුවත් ඔහු හොඳ වෙඩි තබන්නෙකැයිි ඔහුට සිතිණ. ඒ ඔහු හඳුනන්නෙක් වන්නට ඉඩ තිබේ. හමුදාව දෙකඩ වන්නට පෙර සමහර විට ඔහුගේම කණ්ඩායමේ සිටියකු වන්නටත් පුළුවන. අවදානමක් ගෙන ඔහු වැටී සිටින තැනට යාමට ඔහු තීරණය කළේය. මාවතේ කෙළවරට ගිය ඔහු ඔ‘කොනල් වීදිය දෙස එබී බැලීය. වීදියේ ඉහළ කොටසේ තදින් වෙඩි තැබීම් ඇසුණ ද මේ අවට සියල්ල නිශ්චල ය. 

වෙඩික්කරු වීදිය හරහා වේගයෙන් දිව ගියේය. මැෂින් තුවක්කුවක් ඔහු වටා බිම උණ්ඩ වර්ෂාවකින් සිදුරු කළේය. එහෙත් ඉන් ගැලවුණ ඔහු මළසිරුර අසල මුහුණ පහතට සිටින සේ බිම පතිත විය. මැෂින් තුවක්කුවේ හඬ නැවතිණ.

මළසිරුර උඩුබැලි අතට පෙරළූ ඔහුට දක්නට ලැබුණේ සිය සොහොයුරාගේ මුහුණ ය.  

( අයර්ලන්ත ජාතික ලියම් ඔ ෆ්ලැහාර්ටිගේ
The sniper කෙටිකතාව ඇසුරිනි )

මහින්ද අබෙිසිංහ