සුරත් ද මෙල්ගේ නවතම නවකතාව "ණයානන්දය" තුළින් කියැවෙන්නේ ණයගැතිභාවයේ ප්‍රමෝදය යි. පරිකල්පනීය ලේඛකයකු ලෙස සිය නාමය තහවුරු කරගෙන ඇති සුරත් ද මෙල්, සිය පාඨකයා ලාංකීක මධ්‍යම පාන්තිකයන්ගේ ජීවන අරගලය තුළ අතරමං කරන්නේය. මෙම නවකතාව ගොඩනැගෙන්නේ නාගරික මධ්‍යම පාන්තික රැකියා විරහිත පියකුගේ ආර්ථික, සමාජයීය මෙන්ම මානසික දරිද්‍රතාව හමුවේ  බිඳෙනසුලු සිහින තුළිනි. මෙහි කතානායකයා මහේල, ඔහුගේ පුතු සෙහස්, ඔහු හැර ගිය කල්පනී සහ ඔහුව ජීවිතයට බැඳ තබන සබඳතාවල සංකීර්ණත්වය තුළ මෙම කතාව ගලා යයි.
 
“සතුට කියන්නේ ගමනාන්තයක් නෙවෙයි; ඒක ගමනක්. ඒකට කෙටි පාරවල් නැහැ. යම් කිසි මොහොතක ඔයා නිවැරදි යි කියලා හිතපු පාර වැරදි වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔයාට කැපකිරීම් කරන්න වෙනවා.”
 
ප්‍රධාන චරිතය වන මහේල විසින් තම දස හැවිරිදි පුතුට පවසන මෙම වචන, සැබැවින්ම සෑම මධ්‍යම පන්තික මවුපියකුගේම නිහඬ මන්ත්‍රය යි. එය තමාට තරණය කිරීමට නොහැකි වූ සාර්ථකත්වයේ හිණිපෙත්ත වෙත තම දරුවා ඔසවා තැබීමට වෙහෙසෙන සාමාන්‍ය නාගරික මධ්‍යම පන්තික පියකුගේ නොතිත් ආශාව යි.
 
සමාජ-දේශපාලනික කඩතුරාව
 
ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය තවමත් පසුවන්නේ එක්තරා ආකාරයක පරස්පර විරෝධී උගුලක සිරවී ය. ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් ඇති මුත් රැකියා විරහිතය; වේතන ලබන මුත් ණයගැතියන් ය; සමාජයීය වශයෙන් ගෞරවයට පාත්‍ර වුවද දේශපාලනික වශයෙන් අදෘශ්‍යමාන ය. ලාංකීය ආර්ථිකයේ අස්ථාවර බව සහ ජනප්‍රියවාදී දේශපාලනය යන කරුණු සියල්ල එකිනෙක සම්මිශ්‍රණය වෙමින් ඔවුන් සදාකාලික මධ්‍යම පන්තියක සිරකරුවන් වී ඇත.
 
විටෙක ග්‍රෆික් ඩිසයිනර් වරයෙකු ද, තවත් විටෙක වෙළෙන්දෙකු සහ සෑම විටම අසාර්ථක වූවකු වන මහේල නමැති ප්‍රධාන චරිතය හරහා කතුවරයා, සිසුන්ගේ කුසලතා පෝෂණය කිරීමට අසමත් වන අධ්‍යාපන ක්‍රමයක ඇති හිඩැස් විශිෂ්ට ලෙස සිතුවම් කරයි. ඉහළ සාක්ෂරතා අනුපාතයන් ගැන උදම් ඇනුවද, විශ්වවිද්‍යාලවලින් බිහිවන දහස් සංඛ්‍යාත උපාධිධාරීන් අර්ථවත් කාර්යභාරයන් සඳහා අවශෝෂණය කර ගැනීමට මෙරට ආර්ථිකය අපොහොසත්ය. එහි ප්‍රතිඵලයක් ලෙස රැකියා වියුක්තිය මධ්‍යම පන්තියේ උරුමය බවට පත්ව ඇත. කෙසේ වෙතත්, දේශපාලන සබඳතා පවතී නම් මෙම කතාව වෙනස් මගකට යොමු විය හැකි බව ඔහු පවසන්නේ සෝපාහාසයෙනි.
 
ළමා විය මානසික හිංසන සහ එහි අනුරාවය

සුරත් ද මෙල් සිය ප්‍රබන්ධ රචනයේදී නිරන්තරයෙන්ම මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයන් භාවිත කරයි. ණයානන්දය තුළින් ඔහු ළමා වියේ ඇතිවන මානසික හිංසනයන්හි සෙවණැලි වැඩිහිටි ජීවිතයට බලපාන අන්දම මනාව ග්‍රහණය කරයි. ආදරයක් නොලැබුණු, බිඳී ගිය ළමා කාලයක මතකයන්ගෙන් පීඩාවට පත් මහේල, වැඩිහිටියකු ලෙස  විශාදයෙන් ද කාංසාවෙන් ද පෙළෙයි. මනෝ චිකිත්සකවරිය හමුවේ ඔහු කරන ප්‍රකාශය එය මනාව තහවුරු කරයි:
 
“ළමා කාලයක්? මට එහෙම එකක් තිබුණේ නැහැ. මම උපදිනකොට මට වයස අවුරුදු පහළොවක්.”
 
මෙහිදී මහේල සිය සැබෑ උපත ලෙස සලකන්නේ සිය  මවුපියන්ගේ වියෝව සිදුවූ මොහොත යි. මෙම ප්‍රකාශයම ඔහු විසින් මුහුණ දුන් පීඩාකාරී ළමා විය පිළිබදව හෙළිදරව් කරන අතර, ඔහු පීඩා විඳින මානසික අරගලයන්ට මූලික හේතුකාරකය එය බව පාඨකයාට වටහා ගත හැකිය.
 
ලැකානියානු මනෝවිශ්ලේෂණාත්මක කෝණයෙන් බලන කල, මානසික හිංසනයක් යනු ළමයකුට සිදුවන යම් සිදුවීමක් පමණක් නොවේ; එය දරුවා ලෝකය, තමා සහ අන් අය පිළිබදව වටහා ගන්නා ආකාරයෙහි සිදුවන ගැඹුරු බිඳවැටීමකි. ඇතැම් අත්දැකීම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වේදනාකාරී ය.  මෙම වේදනාවන් කාලය විසින් මකා නොදමන අතර, පසු කාලීන ජීවිතයේදී බිය, කාංසාව හෝ විශාදය ලෙස නැවත මතුවෙයි.
 
මෙම පීඩනය මගින් දරුවාගේ පෞරුෂත්වය සහ සමාජය තුළ ඔහුගේ ස්ථානය ද කැලඹීමට ලක් කරයි. අහිමිවීම් තේරුම් ගැනීමට භාෂාව අසමත් වන විට, මනස ජීවත් වීම සඳහා කල්පිත නිර්මාණය කරයි. වැඩිහිටි වියේදී ආශාවන්, සබඳතා සහ තෝරාගැනීම් නිහඬව හැඩගස්වන්නේ මේ කල්පිත තුළිනි. ණයානන්දයේ මහේල සිය ළමා වියේ දී මුහුණදෙන හිංසනයන් යටපත් නොවේ. ඒවා නොපෙනෙන කැළල් ලෙස වැඩිහිටි ජීවිතය මෙහෙයවමින් ජීවත් වෙයි. කතාව පුරාම, මහේලගේ අරගල හුදෙක් පුද්ගලික අසාර්ථකත්වයන් නොව, වචනයෙන් විස්තර කිරීමට නොහැකි වූ අතීතයක ප්‍රතිඵලයක් ලෙස මැනවින් නිරූපණය වේ.
 
ලංකේය සාහිත්‍යයට අමතක වූ නාගරික පියවරුන්ගේ කඳුළු
 
ශ්‍රී ලාංකේය සාහිත්‍යය දිගු කලක් මුළුල්ලේ මානුෂීය වේදනාවන්  විශේෂයෙන් ග්‍රාමීය දරිද්‍රතාව, සමාජ අසාධාරණය සහ කාන්තාවන්ගේ වෙසෙසින්ම මව්වරුන්ගේ නිහඬ විඳදරාගැනීම් කෙරෙහි අවධානය යොමු කර ඇත. මවුවරුන්ගේ කැපකිරීම්, කාන්තා හිංසනය සහ කාන්තා හඬ  බොහෝ නවකතා, කවි සහ ගීත රචනාවන්හි ප්‍රස්තුතය වී ඇත.
එහෙත්, මෙම පොහොසත් සාහිත්‍ය ප්‍රවාහය තුළ, නාගරික මධ්‍යම පන්තික පියාගේ නිහඬ ශෝකය බොහෝ දුරට නිහඬය. තම වේදනාව ප්‍රකාශ කිරීමට භාෂාවක් නොමැතිව වගකීම් කරපින්නා ගන්නා පිරිමින්ගේ ආවේගාත්මක ජීවිතයට ප්‍රබන්ධන්ට ඉඩ සැලසෙන්නේ බොහෝ කලාතුරකිනි. මෙම පිරිමි කඳුළු පෞද්ගලික ය.  එදිනෙදා වැඩකටයුතු සමග දියවී යටපත් වන මෙම කඳුළු බොහෝ විට උපහාසයෙන් හෝ නිහඬතාවයෙන් ආවරණය වේ. එනිසාම සාහිත්‍යමය ඉඩකඩ ද ඔවුනට අහිමිය.
 
ණයානන්දය තුළින් සුරත් ද මෙල් මෙම නිහඬතාව බිඳ දමයි. මහේල හරහා ඔහු මෙතෙක් නොසලකා හරින ලද මෙම පිරිමි කඳුළට හඬක් ලබා දෙයි. එනමුදු ඔහු මෙම කඳුළු රොමාන්තිකකරණය නොකරයි. ඒ වෙනුවට ඔහු පිරිමි කඳුළ මානුෂීයකරණය කරයි.  ඔවුන්ගේ දුර්වලතා, කාංසාවන් සහ නිහඬ අශාවන්ට අවංකව සහ සංවේදීව ගලායාමට ඉඩ සලසයි. එසේ කිරීමෙන්, ණයානන්දය ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ පවතින කැපී පෙනෙන හිඩැසක් පුරවයි. පියවරුන් ද නොපෙනෙන තුවාල දරා සිටින බව අපට මතක් කර දෙයි.
 
සාහිත්‍යමය අගය

ණයානන්දය හරහා සුරත් ද මෙල් සිය සාහිත්‍ය නිර්මාණශීලීත්වයේ හිණිපෙත්තට ළඟා ව සිටී. ඔහුගේ භාෂාව කාව්‍යමය ය. උපමා, රූපක, ඇතුළු සියලු සාහිත්‍යමය මෙවලම්වලින් සුපෝෂිතය.
මෙම නවකතාවේ වඩාත්ම සංවේදී නිරූපණයක් වන්නේ මහේලගේ පුතාගේ 'වෝනි' නමැති සෙල්ලම් බල්ලා සජීවීකරණයයි. (personification) යි. සජීවීකරණය කරන ලද වෝනි හරහා, සුරත් සිය නවකතාවේ වඩාත්ම සංවේදී සිදුවීම් දෙක ග්‍රහණය කරයි. මෙය කතුවරයාගේ කලාත්මක පරිණතභාවය මනාව හෙළි කරන අතර, සරල වස්තුවක් නවකතාවේ නිරූපිත නිරාශාව මැද මුදු මොලොක් බව රඳවා තබන ප්‍රබල මානුෂීය සංකේතයක් බවට පරිවර්තනය කරයි.
 
වඩාත් ගැඹුරු සංකේතාත්මක මට්ටමකින් ගත් කළ, මහේල නමැති චරිතය හුදෙක් එක් පුද්ගලයකු ලෙස නොව, ශ්‍රී ලංකාව නමැති සමස්ත රටෙහි සංකේතයක් ලෙස කියවාගත හැකිය — ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන, ප්‍රායෝගික නොවන සිහිනවලට එල්බගෙන සිටින, සිය ජනතාව රට හැරදා විදේශයන් වෙත සංක්‍රමණය වීම දෙස ලංකා මාතාව බලාසිටී. මහේලගේ පෞද්ගලික අසාර්ථකත්වයන් යනු මෙරට සමාජීය හා ආර්ථික ව්‍යුහයන්ගේ පුළුල් බිඳවැටීම පිළිඹිබු කරන්නකි.
 
අද බොහෝ දෙනෙක් ලියති. බොහෝ දෙනෙක් ප්‍රකාශයට පත් කරති.නමුත් අවසාන පිටුව කියවා අවසන් වූ පසුවත් පාඨකයාගේ මනසේ රැඳී පවතින සාහිත්‍යයක් නිර්මාණය කරන්නේ ඉතා ස්වල්ප දෙනකු පමණි. සුරත් ද මෙල් අයත් වන්නේ එම දුර්ලභ ගණයේ ලේඛකයන් අතරට ය. ඝෝෂා කාරී සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ, ඔහු ජනප්‍රියත්වය හෝ රැල්ලට වඩා කලාවට කැපවී සිටියි.
ණයානන්දය යනු හුදෙක් කතාවක් පමණක් නොව; එය සමාජ විවරණයකි, මනෝවිශ්ලේෂණාත්මක රචනයකි,  සූක්ෂම ලෙස රචිත ශෝක කාව්‍යයකි. ආදරය, ණයගැතිභාවය සහ බිඳෙනසුලු සිහින එකිනෙක අලංකාර ලෙස අමුණන ලද මෙම නවකතාව හරහා — සුරත් ද මෙල් ණයානන්දය තුළින් සිංහල සාහිත්‍යය තුළ සුපැහැදිලි දොස්තයෙව්ස්කියානු සලකුණක් සටහන් කරයි. 

චාරුණී කොහොම්ඹන්ගේ