මීගමුව බන්ධනාගාරයේ ඉකුත් ජූලි 05 සහ 06 දිනවල සිදුවූ අවාසනාවන්ත ගැටුම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු සහ රැඳවියන් 20 දෙනකු මරණයට පත්වීමෙන් පසු විපක්ෂය පසුගිය 20 වැනිදා අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ගැටුම්වල වගකීම බන්ධනාගාර විෂය බාර ඇමැතිවරයාට සහ ආණ්ඩුවට පැවැරෙන බවත්, වගකිව යුතු පිරිස්වල නොසලකා හැරීම් සහ අකාර්යක්ෂමතාව ගැටුමට හේතු වූ බවත් විපක්ෂය එම විශ්වාසභංග යෝජනාවෙන් පෙන්වා දුන්නේය. විශ්වාසභංග යෝජනාව 24 වැනිදා විවාදයට ගත් අතර යෝජනාවට පක්ෂව ඡන්ද 36 ක් ද, විපක්ෂව ඡන්ද 152 ක් ද ලැබී එය පරාජයට පත්විය. යෝජනාවට එරෙහිව ලැබුණු වැඩි ඡන්ද සංඛ්‍යාව 116 ක් විය.
එම ගැටුම පිළිබඳව විපක්ෂය ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කර නිදහස් කිරීමට ආණ්ඩු පක්ෂය විසින් තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා දී තිබුණි. විශ්වාසභංග යෝජනාවක් තුනෙන් දෙකක ඡන්ද සංඛ්‍යාවකින් පරාජය වූ ප්‍රථම අවස්ථාව සමහර විට මෙය විය හැකිය. ආණ්ඩුව මෙය පරාජය කර දින හතක් යෑමට පෙර මහර බන්ධනාගාර ගැටුම ඇතිවිය. සිදු වූ මරණ සංඛ්‍යාව එකකි. නිලධාරීන් සහ රැඳවියන් විස්සකට වැඩි පිරිසක් තුවාල සිදුවීමෙන් රෝහල් ගත කර ඇත. සිදු වූ අලාභය තවමත් තක්සේරු කර නැත. බන්ධනාගාර ඉතිහාසයේ ඉතා දරුණු ගැටුමක් වශයෙන් හැඳින්වෙන මීගමුව බන්ධනාගාර ඛේදවාචකය සිදු වී සති තුනකට ආසන්න කාලයක් ගත වී ඇති නමුදු එවැනි ගැටුම් කළමනාකරණය කිරීම සඳහා ක්ෂණිකව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග හඳුන්වාදීමට ආණ්ඩුව, අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර පරිපාලනය අසමත් වී ඇති බව පෙනී යයි. විපක්ෂය තවත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ ද ආණ්ඩුව එය තුනෙන් දෙකක ඡන්දයෙන් යළිත් එය පරාජය කරනු ඇත. ජනතාවගෙන් නැගෙන ප්‍රශ්නය වන්නේ මෙවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට හෝ ආණ්ඩුවට හැකියාවක් නැද්ද යන්නයි.
මීගමුව සිද්ධියෙන් පසු ආණ්ඩුව නව බන්ධනාගාර දෙකක් විවෘත කළේය. තම ආණ්ඩුවක් පිහිටු වූ පසු බන්ධනාගාර වසා දමා ඒ වෙනුවට පාසල් සහ විශ්වවිද්‍යාල අලුතින් විවෘත කරන බවට වූ හැඟීමක් ජාතික ජන බලවේගය විසින් මහජනතාවට ලබා දී තිබුණි. එසේ වුව ද ගත වූ වසර දෙකක කාලය තුළ සැලකිය යුතු පාසල් ප්‍රමාණයක් වසා දමා හෝ වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. බන්ධනාගාර ප්‍රමාණය වැඩි කිරීමෙන් රැඳවියන් මුහුණ දෙන ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන නමුදු එය ජාතික ජන බලවේගය මහජනතාවට පොරොන්දු වූ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ පිළිබඳ දැක්මට ඉඳුරාම පටහැණි වන්නක් බව පෙන්වා දිය යුතුව ඇත.
මීගමුව බන්ධනාගාරයේ පහසුකම් ඇත්තේ රැඳවියන් 650 ක් සඳහා පමණි. එසේ වුව ද පසුගිය දා ගැටුම ඇතිවන විට එහි රඳවා සිටි මුළු රැඳවියන් 2,400 කි. රඳවා ගත හැකි ප්‍රමාණයට වඩා සියයට 369කට වැඩි රැඳවියෝ පිරිසක් එහි රඳවා ගනු ලැබ සිටියහ. මහර බන්ධනාගාරයේ ඉඩකඩ ඇත්තේ රැඳවියන් 991 ක් සඳහා පමණි. එසේ වුව ද එහි රැඳවියෝ 4,447 ක් සිටියහ. පහසුකම් ඇති ප්‍රමාණයට වඩා සියයට 448ක් වූ රැඳවියන් පිරිසක් එහි රඳවා ඇත.
බන්ධනාගාර ගැටුම්වලට මූලික හේතුවක් වී ඇත්තේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා විශාල රැඳවියන් පිරිසක් මේ ආකාරයට බන්ධනාගාර තුළ රඳවා ගෙන සිටීමය. ඒ නිසාම පාලනය කර ගැනීම අපහසුවීම, ආරක්ෂාව සැලසීමට නොහැකිවීම සහ හදිසි අවස්ථාවක දී මැදිහත්වීමේ අපහසුතාව වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. නිල වශයෙන් දක්වා ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවාගත හැක්කේ රැඳවියන් 11,000 ක පමණ සංඛ්‍යාවකි. එසේ වුව ද මේ වනවිට රැඳවියෝ 41,250 ක් පමණ බන්ධනාගාරවල රඳවා සිටිති. වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට බන්ධනාගාරවල සිටි මුළු රැඳවියන් පිරිස 31,000 පමණ විය. මේ ආණ්ඩුව යටතේ සිරකරුවන්ගේ ප්‍රමාණය 10,000 කින් පමණ වැඩි වී ඇති නමුදු මීගමුව බන්ධනාගාර අර්බුදය දක්වාම බන්ධනාගාරවල ඉඩ පහසුකම් වැඩි කිරීම සඳහා ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැත.
අතිවිශාල රැඳවියන් පිරිසක් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ චෝදනා ලැබූවන් සියලු දෙනා වරදකරුවන්වීම නිසා නොව රටේ පවත්නා නීතිමය සහ පරිපාලනමය දුර්වලතා නිසා බව පෙනී යයි. අධිකරණයකින් වරදකරුවකු වී බන්ධනාගාර ගත වී ඇති ප්‍රමාණය මුළු රැඳවියන් සංඛ්‍යාවෙන් සියයට 30 ක් පමණ වේ. ඉතිරි සියයට 70 රිමාන්ඩ් සිරකරුවෝය. රස පරීක්ෂක වාර්තා නිසි පරිදි නොලැබීම නිසා අතිවිශාල පිරිසක් බන්ධනාගාර ගතව සිටිති. මේ හැරෙන්නට ඇප ලබා ගැනීමට නොහැකි වීම වැනි හේතු නිසා ද සැලකිය යුතු පිරිසක් රඳවා ගෙන සිටිති. 2024 වසරේ දී රස පරීක්ෂක වාර්තා 17,000 ක් පමණ නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. මෙම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වන මූලික කරුණ වන්නේ රැඳවියන්ගෙන් විශාල පිරිසක් බන්ධනාගාරවල රඳවා ගෙන සිටින්නේ අවශ්‍ය වාර්තා නිසි පරිදි නොලැබීම නිසා බවය. ඒවා ලැබෙන තුරු ඇප ලබාදීමකින් තොරව බන්ධනාගාරවල සිටීමට ඔවුන්ට සිදුවන අතර ඒ වෙනුවෙන් මහජනතාවගේ බදු මුදලින් අතිවිශාල වියදමක් දැරීමට සිදුවේ.
මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පසු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර රැඳවියන් පිළිබඳව මෙන්ම බන්ධනාගාරවල පහසුකම්, සනීපාරක්ෂක තත්වය ආදිය පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) වැනි ආයතනවල අවධානය යළිත් වරක් යොමුව තිබේ. ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව එම ආයතන රජයට නිර්දේශ ඉදිරිපත් කර ඇත. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බන්ධනාගාරවල ඇති කරන ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇති නමුදු ඒ සඳහා වූ වැඩපිළිවෙළක් මේ වනතෙක්ම ආණ්ඩුවෙන් ඉදිරිපත් වී ඇති බවක් නොපෙනේ.
ශ්‍රී ලංකාවේ අධිකරණ මගින් දිනකට 400 ක් පමණ පිරිසක් රැඳවුම් ගත කෙරෙන බව වාර්තා වේ. රැඳවුම් භාරයට පත් කෙරෙන සෑම පුද්ගලයකුම නඩත්තු කිරීම වෙනුවෙන් වියදම් දැරීමට සිදු වන්නේ ජනතාවටය.
මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පසු බන්ධනාගාරවල පවතින ගැටලු පිළිබඳව මෙම තීරුවේ අපගේ ජූලි 15 දිනැති ලිපිය මගින් ද කරුණු පෙන්වා දුන්නෙමු. අවධානය වැඩි වශයෙන්ම යොමුවිය යුතුව ඇත්තේ නැවත වරක් අර්බුද ඇති නොවන ආකාරයට පරිපාලනමය සහ කළමනාකරණ පියවර ක්ෂණිකව ගැනීම සඳහා කටයුතු කිරීමටය. බන්ධනාගාරවල නියමිත සේවක සංඛ්‍යාව සම්පූර්ණ වී නැති අතර එබඳු තත්වයක් තුළ ගැටුම් කළමනාකරණයේ දී මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති මානසික කම්පනය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව ඇත. දින දෙකක් තුළ බන්ධනාගාර නිලධාරීහු අට දෙනෙක් රටට අහිමි වූහ. සැලකිය යුතු මූල්‍ය ප්‍රදානයක් එම පිරිස වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන්ට ලබා දී ඇති නමුදු ඒ කිසිදු ආකාරයකින් එම පවුල්වලට තම ආදරණීයයන් අහිමිවීම පිළිබඳ පාඩුව පියවා ගත හැකි යැයි නොසිතමි. ඒ අතරම රැඳවියන් සැලකිය යුතු පිරිසකගේ ද ජීවිත අහිමි විය. ඔවුන්ගෙන් කී දෙනකු වරදකරුවන් වූ හෝ රිමාන්ඩ් ගත කළ අය ද යන්න පිළිබඳව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වී නැත.
මුලින්ම සිදුවිය යුත්තේ බන්ධනාගාර තදබදය අඩු කිරීමයි. රස පරීක්ෂක වාර්තා සහ අනෙකුත් තොරතුරු කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා වූ වැඩපිළවෙළක් මගින් ඒ සඳහා කටයුතු යෙදිය හැකිවේ. ඉහළ තාක්ෂණික ක්‍රම සහ උපකරණ යොදා ගැනීම, කෙටි කාලයක් තුළ අවශ්‍ය මානව සම්පත් සහ පුහුණුව ලබාදීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ බන්ධනාගාර නඩත්තු කිරීමට දරන වියදම විශාල ලෙස අඩු කර ගැනීමට මෙන්ම ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නය විසඳා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත. මත්ද්‍රව්‍යවලට අදාළ පිරිස් සඳහා බන්ධනාගාර සිරභාරයට අමතරව බන්ධනාගාරවලින් පිටස්තරව පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවීම මගින් ද, සුළු වැරැදි වෙනුවෙන් සිරගත වූවන් සඳහා මේ වනවිට බොහෝ රටවල ක්‍රියාත්මක වන සමාජ වැඩ සහ පොදු කාර්යයවල නියුක්ත කරවීමේ ක්‍රම අනුගමනය කිරීම ද අවශ්‍ය වේ.
බන්ධනාගාර බාර ඇමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට හිමි තුනෙන් දෙකකට වැඩි ඡන්දය යොදවා පරාජය කිරීමෙන් ඇමැතිවරයා නිවැරැදි වූයේ යැයි හෝ බන්ධනාගාර ගැටලුව විසඳුණේ යැයි සිතීම මුළාවක් බව මහර බන්ධනාගාර සිද්ධියෙන් පැහැදිලි වේ. එක් සිදුවීමකින් පසු උගත යුතු පාඩම් ඉගෙන ගැනීමට හෝ යෙදිය යුතු පිළියම් පිළිබඳව අවධානය යොමු කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව මහර බන්ධනාගාර සිද්ධියෙන් පැහැදිලි වන මූලික කරුණු වේ. රටත්, ජන ජීවිතත් අවුල් වන සිදුවීම් අඛණ්ඩව ඇතිවන වතාවරණයක් පවත්වා ගෙන යාම වෙනුවට කාර්යක්ෂමව සහ විධිමත්ව පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම පිළිබඳව ආණ්ඩුව වගකීමකින් යුතුව මැදිහත් විය යුතුව ඇත.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd