අගවිනිසුරුගේ ධුර කාලය දීර්ඝ කිරීම: ස්වාධීන අධිකරණයට එල්ල වන විධායකයේ බලපෑම සහ ඒ පිටුපස ඇති සැබෑ අරමුණ පිළිබඳව මෙම අදහස් දැක්වීම නීතිඥ නුවන් බෝපගේ.

​වර්තමාන ආණ්ඩුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා වර්තමානයේ සිටින අග්‍ර විනිශ්චයකාරවරයාගේ ධුර කාලය තවත් වසර දෙකක කාලයකින් දීර්ඝ කිරීමට දරන උත්සාහය පිටුපස ඇත්තේ පැහැදිලිවම දේශපාලනික අරමුණකි. ආණ්ඩුව මෙය කුමන ආකාරයකින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කළද, මෙම සංශෝධනයේ එකම සහ ප්‍රධාන අරමුණ වර්තමාන අගවිනිසුරුවරයා රඳවා ගැනීම බව ඉතා පැහැදිලිය.

​ඉතිහාසයේ නැති සහ ප්‍රතිපත්තිවල නොතිබූ හදිසි සංශෝධනයක්

​1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කළ දින සිට අද දක්වා කිසිදු අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස හෝ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සංවාදයක් හෝ යෝජනාවක් තිබී නැත. එමෙන්ම, මෙම ආණ්ඩුව බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනවල, ඔවුන්ගේ නීතිඥ එකමුතු සාකච්ඡා කළ කරුණුවල හෝ මැතිවරණ වේදිකාවල පවා මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවක් ගැන කිසිදු සඳහනක් තිබුණේ නැත.

ආණ්ඩුවට අගවිනිසුරුවරයා තවත් වසර දෙකක් තබා ගැනීමට අවශ්‍ය ඇයි?

​වර්තමාන අගවිනිසුරුවරයා පත්වීමෙන් පසුව වත්නා නඩු ප්‍රමාණය අඩු කිරීම සඳහා ගත් සමහර පරිපාලන තීරණ නිසා යුක්තිය කෙසේ වෙතත් නඩු නිෂ්ප්‍රභ වීම හරහා උපරිමාධිකරණවල නඩු අඩුවීමක් සිද්ධ විය. එසේම පාස්කු ප්‍රහාරය වැනි දේශපාලනිකව ආණ්ඩුවට වැදගත්කමක් ඇති සිද්ධිවලට අදාල නඩු වලදී මිනිසුරුවරු පත් කිරීම සහ එම නඩු ඇසීමේ කාර්යපටිපාටිය සම්බන්ධයෙන් බලපාන තීරණ ලබාදීම හරහා එහි සැකකරුවන්ට සිය විත්තිවාසික පවා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබෙන ආකාරයෙන් එම නඩු ඇසෙමින් පවතී. එසේම ආණ්ඩුවට අඅවාසි සහගත සමහර තීන්දු පහළ අධිකරණවල ලබා දුන් මහේස්ත්‍රාත්වරුන්ව ස්ථාන මාරු කිරීමෙන් සිද්ධීන් සිදුව ඇත.

​අගවිනිසුරුවරයා මෙම තීරණ ගත්තේ විධායකයේ බලපෑමෙන් තොරව, ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව සමඟ සාකච්ඡා නොකර සද්භාවයෙන් විය හැකිය. කෙසේ වෙතත්, ඔහුගේ මෙම ක්‍රියාමාර්ග තම දේශපාලන බලය පවත්වා ගැනීමට සහ තහවුරු කර ගැනීමට වාසි සහගත මෙන්ම ප්‍රයෝජනවත් බව ආණ්ඩුව විශ්වාස කරයි. අගවිනිසුරුවරයාගේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුවට උවමනා වී ඇත්තේ ඒ නිසාය.

​තනි පුද්ගලයන් ඉලක්ක කරගත් ව්‍යවස්ථා සංශෝධනවල භයානක අතීතය

​ මේ තනි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම අතිශය භයානක මෙන්ම හානිදායක තත්ත්වයක් බව අතීත කතාවලින් පසක් කර යුතු කාලසීමාවකි.

​1982 හයවැනි ව්‍යවස්ථා සංශෝධනය

ජේ. ආර්. ජයවර්ධන මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු ධුර කාලය වසර හයකින් දීර්ඝ කිරීමට කටයුතු කිරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ 88/89 කාලපරිච්ඡේදයේ බිහිසුණු ඛේදවාචකය බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි.

​18 වැනි ව්‍යවස්ථා සංශෝධනය

 මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ජනාධිපති ධුර කාලය වාර දෙකක සිට සීමාරහිත කිරීමට ගෙන ආ මෙම සංශෝධනය නිසා ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසී අවසානයේ ඔහුට ධුරයෙන් ඉවත් වීමට සිදුවීමද මෙයට තවත් කදිම උදාහරණයකි.

​සැබවින්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ අවශ්‍යතාවක් තිබේ නම්, ජාත්‍යන්තර සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රමිතීන්ට අනුව එය කළ යුත්තේ වර්තමානයේ සිටින අයට අදාළ නොවන පරිදි, ඊළඟට පත්වන අයට පමණක් අදාළ වන පරිදිය. පාරදෘශ්‍යභාවය සහ අවංකභාවය සුරැකිය හැක්කේද එවිට බව පැහැදිලි කරුණකි. 

​ආණ්ඩුවේ අසාර්ථක  තර්ක සහ දෙබිළි පිළිවෙත

​ආණ්ඩුව ඉදිරිපත් කරන තර්ක අතිශය බොළඳ සහ පදනම් විරහිත බව පහත කරුණුවලින් පැහැදිලි කළ හැකිය.

​නඩු ප්‍රමාදය අවම වීම

විශ්‍රාම වයස වැඩි කිරීමෙන් නඩු විසඳීම ඉක්මන් නොවේ. නඩු ප්‍රමාද වී ඇත්තේ පහල අධිකරණවල පවතින මහේශාත්වරුන්ගේ හිඟය, දිසා විනිසුරුන්ගේ හිඟය නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිෂන් සභාව, පොලිසිය වැනි ආයතන වල පවතින පුරප්පාඩු, රස පරීක්ෂකවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලවල පුරප්පාඩු නිසා මිස විනිසුරුවරුන්ගේ වයස නිසා නොවන බව කිව යුතුය.

​පළපුරුද්ද පිළිබඳ තර්කය

වයස සහ පළපුරුද්ද වැඩි වූ පමණින්ම කාර්යක්ෂමතාව වැඩි නොවේ. ඇතැම් තරුණ විනිසුරුවරුන් වඩාත් ඉක්මනින් හා බුද්ධිමත්ව නඩු විමසයි. අනෙක් අතට, විගණකාධිපති ධුරය සඳහා නාම යෝජනා කිරීමේදී පළපුරුදු නිලධාරීන් සිටියදී ජනාධිපතිවරයා තමන්ගේ මිතුරෙකු යෝජනා කිරීමෙන්ම ආණ්ඩුවේ පළපුරුද්ද පිළිබඳ තර්කය බොරුවක් බව හෙළි වේ.

​වංචා දූෂණවලට දඬුවම් දීම

අගවිනිසුරුගේ හෝ විනිසුරුවරුන්ගේ ධුර කාලය වැඩි කිරීමත් වංචාකරුවන්ට දඬුවම් දීමත් අතර කිසිදු සෘජු සම්බන්ධයක් නැත. නඩුවල තීන්දු දෙන්නේ අධිකරණයට ඉදිරිපත් වන කරුණු මත මිස විනිසුරුවරයාගේ වයස මත නොවන බව ද මෙහිදී පැහැදිලි කළ යුතුය.

​ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් ජනතාවට කෙරෙන ඇරයුම

​පාලක පන්තිය විසින් අධිකරණ පද්ධතිය හැසිරවීමේ යම් යම් පක්ෂපාතීත්වයන් තිබිය හැකි වුවද, අධිකරණය යම් තරමකට හෝ ස්වාධීනව පැවතීම හැමවිටම ජනතාවගේ පැත්තෙන් වාසිසහගතය. විධායකය විසින් අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීම සම්පූර්ණයෙන්ම ජනතාවට හානි පමුණුවන්නකි.

​එබැවින්, ආණ්ඩුව මොන යහපත් හේතු දැක්වුවද, මෙය විධායකය විසින් අධිකරණය තම අනසකට යටත් කර ගැනීමට දරන උත්සාහයක් බව වටහාගෙන, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට රැවටෙන්නේ නැතිව එය පරාජය කිරීමට පෙළගැසෙන ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.

 

 

නීතිඥ
නුවන් බෝපගේ

 

D.N.අභයවර්ධන.