පසුගිය සතියේ මෙම ලිපියෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ 2026 සමීක්ෂණ ප්‍රතිඵල පදනම් කරගෙන, ආර්ථික අපහසුතා පවතින අතර, ජනාධිපතිවරයාගේ කාර්යසාධනය පිළිබඳ සියයට 75.5ක ජනතා තෘප්තියක් වාර්තා වන්නේ කෙසේදැයි විමසා බැලු‍වෙමු. එහිදී ජනතාව වත්මන් ආර්ථික තත්වය පමණක් නොව, අර්බුදයේ ඓතිහාසික වගකීම, පාලනයේ ක්‍රියාකාරිත්වය සහ රට ගමන් කරන දිශාවද වෙන්කර තක්සේරු කරන බව පෙන්වා දුන්නෙමු.

එහෙත් එම විග්‍රහයෙන් තවත් ගැඹුරු ප්‍රශ්නයක් මතු වේ. ජනතාව පාලනය විනිශ්චය කරන මෙම නව ස්වරූපය බිහි වූයේ කෙසේද? එය වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු මතු වූ තාවකාලික ජනප්‍රියත්වයක්ද, නැතහොත් 2022 ආර්ථික බිඳවැටීම හා ජනතා අරගලය සමග ජනමතයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයම මාරු වී, දේශපාලන බලය ඇදගෙන යන දිශාව වෙනස් කළ ගැඹුරු පරිවර්තනයක වත්මන් ප්‍රකාශනයක්ද?

දේශපාලන බලය අපට පෙනෙන්නේ ජනාධිපති ධුරය, පාර්ලිමේන්තු ආසන, මැතිවරණ ජයග්‍රහණ සහ ආණ්ඩු ලෙසය. එහෙත් ඒ සියල්ල චලනය කරන්නේ ඇසට නොපෙනෙන ජනමතයයි. ජනතාව පාලකයන් පිළිබඳ සිතන ආකාරය සහ ඔවුන් විනිශ්චය කරන මිනුම් දණ්ඩ වෙනස් කළ විට, බලයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයද වෙනස් වෙයි. එවිට පැරැණි පක්ෂ උරුම, පවුල් නාම, වරප්‍රසාද ජාල සහ දේශපාලන භීතිය පෙර පරිදිම බලය නිපදවන්නේ නැත.

සාකච්ඡා කළ යුතු ගැටලු‍ව වන්නේ, අරගලය වීදිවලින් අවසන් වූවත් ජනතාවගේ දේශපාලන විනිශ්චය තුළ ද අවසන් වී තිබේද යන්නයි. ජනතා නිර්ණායක පක්ෂ උරුමයෙන්, පවුල් නාමයෙන්, දේශපාලන රැකවරණයෙන් සහ පෞද්ගලික වරප්‍රසාදයෙන් ඉවත්ව, වගවීම, අවංකභාවය, නීතියේ සමානාත්මතාව, දූෂණ විරෝධය සහ පාලන හැකියාව වෙත මාරු වී ඇත්නම්, ශ්‍රී ලංකාවේ බලය ලබාගැනීමේ සහ පවත්වාගෙන යාමේ නීති ද මූලික වශයෙන් වෙනස් වී තිබේ.

එබැවින් මෙම ලිපියේ අරමුණ වන්නේ 2022 ජනතා අරගලය හුදෙක් පාලකයන් වෙනස් කළ සිදුවීමක් ද, නැතහොත් පාලනය විනිශ්චය කරන ජනතා මිනුම් දණ්ඩ වෙනස් කළ තීරණාත්මක දේශපාලන කඩඉමක්ද යන්න විමසා බැලීමයි. විශේෂයෙන්ම, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ 2022 සමීක්ෂණයෙන් අනාවරණය වූ ක්‍රම වෙනස, ප්‍රජාතන්ත්‍රවාදය සහ අරගලයේ අවශ්‍යතාව පිළිබඳ ජනතා එකඟතාවත්, එම කේන්ද්‍රයේ 2026 සමීක්ෂණයෙන් පෙනෙන වත්මන් පාලන විශ්වාසයත් අතර, පවතින සංකල්පීය අභිසරණය හඳුනාගැනීම මෙහි අරමුණ වේ.

 

නව පාලන සම්මුතියක් වූ අරගලය

දේශපාලන විද්‍යාවේ “තීරණාත්මක දේශපාලන කඩඉමක්” යනු සමාජයක සාමාන්‍ය දේශපාලන ගමන් මග බිඳ දමා නව තේරීම්, නව ජනතා ඉල්ලීම් සහ නව බල සම්බන්ධතා සඳහා මාර්ග විවෘත කරන දැවැන්ත අර්බුදයකි. එහිදී ජනතාව වඩාත් කෝපයට පත්වනවා පමණක් නොව, පාලකයන් විනිශ්චය කරන නිර්ණායක ද නැවත සකස් කරයි. එහිදී සිදුවන්නේ හුදු ආණ්ඩුවක් හෝ පාලකයන් මාරු වීම පමණක් නොව, ජනතාව සහ පාලනය අතර ඇති සමස්ත “සමාජ සම්මුතියම” (Social contract) අලු‍තින් ලියැවීමයි. 2022දී ශ්‍රී ලාංකිකයන් මුහුණ දුන්නේ ආර්ථික පසුබෑමකට පමණක් නොවේ. දශක ගණනාවක දේශපාලන වරප්‍රසාද, දූෂණය, වගකීම් විරහිත රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ආයතනික දුර්වලතාවේ ප්‍රතිඵලය ඔවුහු දෛනික ජීවිතයෙන් අත්වින්දහ. පෝලිම්, හිඟය, විදුලි කප්පාදුව සහ ණය ගෙවීමේ හැකියාව අහිමිවීම පැරැණි පාලන ක්‍රමයේ මිල ඔවුන් ඉදිරියේ තැබීය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ 2022 අරගල සමීක්ෂණයේදී සියයට 82ක් එය රටට ධනාත්මක බලපෑමක් කළ බවත්, සියයට 81ක් එය අවශ්‍ය වූ බවත් කීහ. සියයට 83ක් “ක්‍රම වෙනසකට” සහාය දැක්වූ අතර, සියයට 79ක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනත් පාලන ක්‍රමවලට වඩා යෝග්‍ය බව පැවසූහ.

මෙම ප්‍රතිඵල හුදෙක් එදා පැවැති විරෝධතාවකට ලැබුණු තාවකාලික සහාය පිළිබඳ සංඛ්‍යා නොවේ. අරගලය අවශ්‍ය බව සහ එය ධනාත්මක බලපෑමක් කළ බව පිළිගැනීමෙන් පෙනෙන්නේ පැරැණි පාලනය පිළිබඳ ජනතා අප්‍රසාදයයි. ක්‍රම වෙනසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ලැබුණු ඉහළ සහායෙන් පෙනෙන්නේ එම අප්‍රසාදයෙන් එහා ගිය නව පාලන අපේක්ෂාවකි.

ජනතාව ඉල්ලා සිටියේ පාලකයාගේ මුහුණ හෝ පක්ෂයේ නම හෝ වෙනස් කිරීම නොවේ. බලය, මහජන මුදල් හා නීතිය හසුරුවන ආකාරයත්, පාලකයන් ජනතාවට වගකියන ආකාරයත් වෙනස් කිරීමකි. එබැවින් අරගලය රට පාලනය කළ යුතු ආකාරය පිළිබඳ නව ජනතා සම්මුතියකි. 2022දී වෙනස් වෙමින් තිබුණේ ආණ්ඩුව පමණක් නොව, ජනමතයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයයි.

 

2022 ඉල්ලීම සහ 2026 විනිශ්චය

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ 2022 සහ 2026 සමීක්ෂණ එකම ප්‍රශ්න මැන නොබලන බැවින් ඒවායේ ප්‍රතිශත සෘජුව සැසඳිය නොහැකිය. එහෙත් 2022 ජනතා අපේක්ෂා සහ 2026 ජනතා විනිශ්චය අතර පැහැදිලි සම්බන්ධයක් තිබේ.

2022 සමීක්ෂණය ජනතාව අපේක්ෂා කළ පාලනයේ ස්වභාවය හෙළි කළේය. ඔවුහු ක්‍රම වෙනස, ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම සහ පැරැණි දේශපාලන ක්‍රමයෙන් බිඳී යාම ඉල්ලා සිටියහ. 2026 සමීක්ෂණය පෙන්වන්නේ වත්මන් පාලනය එම අපේක්ෂා සමග කොපමණ පෙළගැසී ඇත්දැයි ජනතාව සිතන්නේ ද යන්නයි.

දේශපාලන විද්‍යාවේ “ප්‍රශ්න හිමිකාරිත්වය” (Issue Ownership)  යන සංකල්පය මෙහිදී වැදගත් වේ. එනම්, යම් ප්‍රශ්නයක් විසඳීමට වඩාත් විශ්වාස කළ හැකි පක්ෂය හෝ නායකයා පිළිබඳ ජනතාව තුළ ගොඩ නැගෙන ප්‍රසාදයයි. එය වචනවලින් පමණක් නොව, අතීත චර්යාව, ප්‍රතිපත්ති සහ කාර්යසාධනයෙන් ගොඩනැගේ. ඒ අනුව දූෂණ විරෝධය, වගවීම, ක්‍රම වෙනස සහ කාර්යක්ෂම පාලනය ප්‍රමුඛ අපේක්ෂා නම්, ඒවා විශ්වාසනීයව නියෝජනය කරන බලවේගයට වාසිය හිමි වේ. පැරැණි බලවේග එම භාෂාවම භාවිත කළ ද, ඔවුන්ගේ අතීත චර්යාව හා වත්මන් පණිවිඩය අතර ඇති “විශ්වාසනීයත්ව අගාධය” (Credibility Gap) නිසා එම පණිවිඩය ජනතා මනස තුළ මුල් බැස නොගනී.

2026 ප්‍රතිඵලය වැදගත් වන්නේ මේ නිසාය. මෙය පාලන කාර්යසාධනය පිළිබඳ දේශපාලන අනුමැතියක වැදගත් සංඥාවක් ද වේ. එය 2022දී නොතිබූ ජනමතයක් හදිසියේ උපන් බවක් නොපෙන්වයි. වඩාත් ගැළපෙන කියවීම වන්නේ, 2022දී ගොඩ නැගුණු නව පාලන අපේක්ෂාව සමග වත්මන් ආණ්ඩුව දැඩිව පෙළගැසී ඇතැයි ජනතාවගේ හතරෙන් තුනක් පමණ සිතන බවයි.

මෙම පෙළගැසීම අහම්බයක් නොවන බව ද පෙනේ. වත්මන් පාලනය සිය අනන්‍යතාව ගොඩනගා ඇත්තේ දූෂණ විරෝධය, රාජ්‍ය සම්පත් පිළිබඳ වගවීම, වරප්‍රසාද අවම කිරීම, නීතියේ ආධිපත්‍යය සහ සාමාන්‍ය පුරවැසියාට ගෞරවය යන අරගලයේ ඉල්ලීම් වටාය. ඒවා සියල්ල ඉටුවී ඇති බවක් මෙයින් අදහස් නොවේ. එහෙත් එම ජනතා භාෂාව තම පාලන භාෂාව බවට පත්කර ගැනීමට ආණ්ඩුව සමත් වී ඇත.

 

විපක්ෂය තවමත් 2022ට පෙරද?

මෙම විග්‍රහය අනුව, විපක්ෂයේ ගැටලු‍ව නායකත්වයේ ජනප්‍රියත්වය, සන්නිවේදන දුර්වලතාව හෝ සංවිධානමය පසුබෑම පමණක් නොවේ. එහි බරපතළ ගැටලු‍ව වන්නේ, 2022න් පසු ජනතාවගේ දේශපාලන කියවීමේ ඇති වූ ගැඹුරු වෙනස තවමත් නිවැරැදිව අවබෝධ කර නොගෙන, 2022ට පෙර පැවැති දේශපාලන සන්දර්භයෙන්ම බලය සෙවීමයි.

2022ට පෙර ශ්‍රී ලංකා දේශපාලනයේ බලය ලබාගැනීමට හා පවත්වාගෙන යාමට භාවිත වූ ප්‍රධාන රටාවක් වූයේ අනුග්‍රාහක දේශපාලනයයි. රාජ්‍ය සම්පත්, රැකියා, කොන්ත්‍රාත් සහ පෞද්ගලික වරප්‍රසාද දේශපාලන පක්ෂපාතිත්වය සඳහා හුවමාරු කිරීම එහි ක්‍රියාකාරී යාන්ත්‍රණය විය. 2022 අර්බුදය එම ක්‍රමයේ ආර්ථික හා දේශපාලන අසාර්ථකත්වය ජනතාව ඉදිරියේ නිරාවරණය කළේය. එබැවින් පක්ෂ හා පවුල් නාම, රැකවරණ ජාල සහ භීතිය පෙර පරිදිම බලය නිපදවන්නේ නැත.

එවැනි සන්දර්භයක පැරැණි බලවේග කෙතරම් එකතු වුව ද, එම එකතුව නව ජනතා අපේක්ෂාවලට ගැලපෙන විකල්පයක් නොවේ. පක්ෂ ගණන වැඩි කිරීමෙන් හෝ පැරැණි බල මධ්‍යස්ථාන එකම වේදිකාවකට ගෙන ඒමෙන් පමණක් නව ගුරුත්වාකර්ෂණයට අනුකූල විය නොහැකිය. මෙහිදී වැදගත් වන්නේ ජනතාවගේ අපේක්ෂා හුදෙක් පාලකයන්ගේ නාම වෙනසකට සීමා නොවීමයි. ඔවුහු ආණ්ඩු මාරුවකට වඩා, රාජ්‍යය ක්‍රියාකරන ආකාරයේ විශ්වාසනීය වෙනසක් අපේක්ෂා කරති. එබැවින් නව ජනමතය දිනාගැනීමට ප්‍රතිපත්තිමය පැහැදිලිතාව, අතීත වගකීම පිළිගැනීම සහ ක්‍රියාමාර්ගවල විශ්වාසනීයත්වය අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව සන්ධාන ගණිතය පමණක් ජනතා විශ්වාසය නැවත ගොඩ නඟන්නේ නැත.

 

ගුරුත්වාකර්ෂණය ආණ්ඩුවටත් අදාළය

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ 2026 සමීක්ෂණය වත්මන් ආණ්ඩුවට කාර්යසාධන පදනම් වූ පාලන වලංගුභාවයක් ලැබී ඇති බවට වැදගත් සංඥාවක් දෙයි. එහෙත් සමීක්ෂණ තෘප්තිය පූර්ණ හෝ ස්ථිර වලංගුභාවයකට සමාන නොවේ. මෙම පෙළගැසීම දේශපාලන අයිතියක් හෝ අසීමිත ජනවරමක් ද නොවේ.

මැතිවරණයෙන් ලැබෙන ජනවරම ආණ්ඩුවකට ආරම්භක වලංගුභාවය ලබාදෙයි. එය දිගටම තහවුරු කරන්නේ ප්‍රතිඵලයි. ඒ සඳහා දූෂණ විරෝධී පොරොන්දු නීතිමය හා ආයතනික ප්‍රතිඵල බවට පත් කිරීම, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, නීතිය සමානව ක්‍රියාත්මක කිරීම, මහජන සේවය කාර්යක්ෂම කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය ජන ජීවිතයට දැනෙන සහනයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය වේ.

 

නිගමනය

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ 2022 සමීක්ෂණය ජනතාවගේ මූලික පාලන අපේක්ෂා හෙළි කළේය. 2026 සමීක්ෂණයේදී ජනාධිපතිවරයාගේ කාර්යසාධනයට සියයට 75.5කද, ජාතික ජන බලවේගයේ පාලන හැකියාවට සියයට 62.8කද තෘප්තියක් වාර්තා වීමෙන් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුව එම අපේක්ෂාව සමග පෙළගැසී ඇතැයි සැලකිය යුතු ජන කොටසක් සිතන බවයි. එම ප්‍රතිඵල ජනප්‍රියත්වයේ හුදෙකලා ඡායාරූපයක් නොව, 2022න් පසු නැවත සකස් වූ දේශපාලන විනිශ්චයකි.

එබැවින් අරගලය බලය මනින ජනතා මිනුම් දණ්ඩ තුළ තවමත් ජීවත් වෙයි. වත්මන් ආණ්ඩුව නව ජනමතයට පෙළගැසීමෙන් ගුරුත්වාකර්ෂණයේ වාසිය ලබයි. විපක්ෂය 2022ට පෙර දේශපාලන සිතියමකින් ජනතාව කියවන බැවින්, බලයට යන මගද වැරැදි ලෙස කියවයි.

එහෙත් ජනමතයේ ගුරුත්වාකර්ෂණය ජනතා අපේක්ෂාව සමග පෙළගැසෙන පාර්ශ්වය වෙත බලය ඇදගෙන යන අතර, එම අපේක්ෂාවෙන් ඉවත්වන පාර්ශ්වයෙන් බලය ඈත් කරයි. පැරැණි දේශපාලන මෙවලම්වල ද්‍රව්‍යමය සහ මානසික පදනම සැලකිය යුතු ලෙස දුර්වල බැවින්, නව ජනමතයේ ගුරුත්වාකර්ෂණයට අනුකූල විය නොහැකි ඕනෑම බලවේගයක් ක්‍රමයෙන් සිය දේශපාලන අදාළත්වය අහිමි කරගනී.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ  ආර්ථික විද්‍යාව පිළිබඳ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය චන්දික ගුණසිංහ