සුබසාධන රාජ්‍යයක සැබෑ පරීක්ෂණය වන්නේ අද කොපමණ වියදම් කරන්නේ ද යන්න නොවේ. එම පොරොන්දු හෙට ද ඉටු කිරීමට රාජ්‍යයට මූල්‍ය ශක්තිය තිබේද යන්නයි. රට අද මුහුණ දෙන මූලික අභියෝගය වන්නේ තිරසාර සුබසාධනයට ශක්තිමත් පදනමක් ගොඩ නැගීමය.

අද ලබාදෙන සහනය බදු ආදායම්, නිෂ්පාදනශීලී ආර්ථික ක්‍රියාකාරිත්වය සහ විනයගරුක රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මත ගොඩනැගෙන්නේ නම්, සුබසාධනය තිරසාර වේ. එහෙත් එය සැඟවුණු පාඩු, නොගෙවූ බිල්පත් සහ අනාගතයට තල්ලු‍ කළ ණය මත ගොඩ නැගෙන්නේ නම්, සුබසාධනය තවම හඬක් නැති අනාගත පරපුරට පවරන සදාචාරාත්මක බරක් බවට පත්වේ.

දශක ගණනාවක් තිස්සේ අප ජීවත් වූයේ ණය මත යැපුණු සුබසාධන මායාවක ය. එහෙත් වත්මන් ආණ්ඩුව යටතේ අද රට ගමන් කරමින් සිටින්නේ රාජ්‍ය මූල්‍ය විනය, මූල්‍ය ශක්තිය සහ ආයතනික වගකීම මත සැබවින්ම සුරක්ෂිත වන ‘තිරසාර සුබසාධන රාජ්‍යයක්‘ දෙසටය. මෙය හුදු ගිණුම්කරණ කතාවක් නොවේ. මෙය අද පරපුර සහ හෙට පරපුර අතර සාධාරණත්වය පිළිබඳ කතාවකි. සුබසාධන රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහා ස්ථාවර ආදායම් පදනමක්, විනයගරුක වියදම් කළමනාකරණයක්, විශ්වාසදායක ණය කළමනාකරණයක්, ශක්තිමත් ආයතන පද්ධතියක් සහ ස්වාභාවික මෙන්ම ආර්ථික කම්පන හමුවේ ජනතාව ආරක්ෂා කිරීමේ හැකියාවක් අත්‍යවශ්‍ය වේ.

වැදගත්ම ප්‍රශ්නය වන්නේ, මූල්‍ය විනයක් නොමැතිව නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, සමාජ ආරක්ෂණය, පොදු ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය මහජන සේවාවන් දිගුකාලීනව රැකගත හැකිද යන්නයි. ජනතාව අපේක්ෂා කරන්නේ වරප්‍රසාද ලත් සුළු පිරිසකට පමණක් නොව, සාමාන්‍ය පුරවැසියාට ද ගුණාත්මක සේවා ලැබෙන රාජ්‍යයකි. එවැනි රාජ්‍යයක් තාවකාලික ණය මත නොව, ශක්තිමත් රාජ්‍ය මූල්‍ය පදනමක් මත පමණක් ගොඩ නැගිය හැකිය.

 

මූල්‍ය ධාරිතාව නැවත ගොඩනැගීම

ආර්ථික විද්‍යාවේ දෘෂ්ටි කෝණයෙන් බලන විට, සාර්ථක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක්(A successful fiscal policy)තනි සංඛ්‍යාවකින් මැනිය නොහැකිය. ඒ සඳහා ආදායම් වර්ධනය, වියදම් විනය, ප්‍රාථමික ශේෂය, අයවැය ශේෂය, ණය සේවාකරණ හැකියාව සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව එකට සලකා බැලිය යුතුය.

මේ සඳහා 2026 පළමු කාර්තුවේ දත්ත වැදගත් සංඥාවක් ලබා දෙයි. රජයේ ආදායම් සහ ප්‍රදාන රුපියල් බිලියන 1,067 සිට රුපියල් බිලියන 1,499 දක්වා සියයට 40.4කින් ඉහළ ගොස් ඇත. බදු ආදායම සියයට 36.4කින්ද, බදු නොවන ආදායම සියයට 91.25කින්ද වර්ධනය වී තිබේ. එම කාලය තුළ සමස්ත රජයේ වියදම ඉහළ ගොස් ඇත්තේ සියයට 6.21කින් පමණි. එහි ප්‍රතිඵලය කැපී පෙනේ. 2025 පළමු කාර්තුවේ රුපියල් බිලියන 234.46ක අයවැය හිඟයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, 2026 පළමු කාර්තුවේ රුපියල් බිලියන 116.35ක අයවැය අතිරික්තයක් වාර්තා කර ඇත. එය වසරක් තුළ රුපියල් බිලියන 350.81ක රාජ්‍ය මූල්‍ය හැරවුමකි. එම හැරවුම 2025 පළමු කාර්තුවේ අයවැය හිඟයේ සියයට 149.6කට සමානය. ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 397.47 සිට රුපියල් බිලියන 709.60 දක්වා, එනම් සියයට 78.5කින් ඉහළ ගොස් තිබේ.

මෙම මූල්‍ය ප්‍රගතිය සැබෑ ආර්ථික ක්‍රියාකාරිත්වයෙන් ද සහාය ලබයි. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2026 පළමු කාර්තුවේ දී සැබෑ ආර්ථික වර්ධනය 2025 පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 5.1කින් වර්ධනය වී ඇත. 2015 ස්ථාවර මිල ගණන් යටතේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 3,653ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2020-2026 කාලය තුළ පළමු කාර්තුව සඳහා වාර්තා වූ ඉහළම අගය වේ. කෘෂි කර්මාන්තය සියයට 1.1කින්, කර්මාන්ත අංශය සියයට 7.2කින් සහ සේවා අංශය සියයට 3.4කින් වර්ධනය වී තිබීමෙන් පෙනෙන්නේ ප්‍රකෘතිමත් වීම මූල්‍ය ගිණුම්වලට පමණක් සීමා නොවන බවයි. මෙම වර්ධන වේගය ඉතිරි කාර්තු තුන තුළ ද සමාන මට්ටමක පවත්වා ගැනීමට හැකි වුවහොත්, 2026 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවට සියයට 5කට ආසන්න හෝ එය ඉක්මවන සැබෑ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට හැකි වනු ඇත. එය, ‘ආර්ථිකය කඩා වැටෙමින් පවතී‘ යන සාක්ෂි රහිත දේශපාලන මන්ත්‍රය වෙනුවට, ‘ආර්ථිකය විනයගතව සහ ශක්තිමත්ව නැවත ගොඩනැගෙමින් පවතී‘ යන දත්තමය කියවීමට වඩාත් සමීප වේ.

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ මූල්‍ය අවකාශය

මෙම ප්‍රගතිය ණය තත්වයෙන් වෙන්කර බැලිය නොහැකිය. 2026 මාර්තු 31 වැනිදා වනවිට මධ්‍යම රජයේ සමස්ත ණය තොගය රුපියල් බිලියන 31,193ක්, නැතහොත් ඇමෙරිකානු ඩොලර් බිලියන 98.96ක් ලෙස සටහන් වේ. ඉන් රුපියල් බිලියන 19,383ක් දේශීය ණය වන අතර, රුපියල් බිලියන 11,810ක්, එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 37.47ක් විදේශ ණය වේ. 2026 පළමු කාර්තුව තුළ පමණක් රජය රුපියල් බිලියන 2,384.4ක දේශීය ණය ගෙවා ඇති අතර ඉන් රුපියල් බිලියන 1,883.9ක් වාරික සහ කල්පිරීම් පියවීම් වේ. එමෙන්ම විදේශ ණය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 530ක් පමණ ගෙවා ඇත.

එහෙත් වැදගත් වන්නේ ණය ප්‍රමාණය පමණක් නොව එය කළමනාකරණය කිරීමේ හැකියාවයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු 2026 වසර සඳහා මධ්‍යම රජයේ සහ රජයේ ඇපකර සහිත ප්‍රතිව්‍යුහගත විදේශ ණය සේවාකරණ වගකීම ඇමෙරිකානු ඩොලර් මිලියන 942ක් පමණ දක්වා සීමා වී ඇත. ප්‍රතිව්‍යුහගතකරණය නොවූයේ නම් එම බර ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ඉක්මවීමට ඉඩ තිබුණි. එනම් 2026දී පමණක් රජයට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2ක ක්ෂණික මූල්‍ය පීඩනයක් අඩුකර ගැනීමට හැකි වී ඇත.

මධ්‍යම රජයේ ණය වගකීම් සහ රටේ සමස්ත බාහිර මූල්‍යකරණ අවශ්‍යතාව එකක් නොවේ. IMF ගෙවීම්, මහ බැංකු බැඳීම් සහ පෞද්ගලික අංශයේ විදේශ ණය ඇතුළුව 2026 සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත බාහිර මූල්‍යකරණ අවශ්‍යතාව ඩොලර් බිලියන 5.6කි. එබැවින් ණය ප්‍රතිව්‍යුහගතකරණය යනු ණය ගැටලු‍ව සහමුලින්ම අවසන් කිරීමක් නොව රජය මත පවතින ක්ෂණික පීඩනය අඩුකර රාජ්‍ය ධාරිතාව ගොඩ නැඟීමට මූල්‍ය අවකාශය ලබා ගැනීමකි.

 

කල් දැමූ පිරිවැයක් නොවීම

අද දෙන සහනාධාරවල සැඟවුණු පිරිවැය හෙට දවසේ දැවැන්ත මහජන බරක් බවට පත්වන හැටි අපගේ රාජ්‍ය ව්‍යාපාරවල ඉතිහාසය සාක්ෂි දරයි. විදුලිය හෝ ඉන්ධන හෝ පිරිවැයට වඩා අඩු මිලට දීමෙන් ක්ෂණික සහනයක් ලැබුණ ද, එහි නොගෙවූ කොටස අතුරුදන් වූයේ නැත. එම නොගෙවූ කොටස පසුව රාජ්‍ය ණය, බදු බර, උද්ධමනය හෝ සේවා කප්පාදුවක් ලෙස වක්‍රව මහජනතාව මතම පතිත වේ.

2025 මැද භාගය වන විට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 218ක් පමණ වන කෙටිකාලීන බැංකු ණය සහ සම්බන්ධිත වගකීම් දරා සිටියේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි, එනම් රුපියල් බිලියන 900කට වැඩි පැරැණි වගකීම් දරා සිටියේය. එමෙන්ම 2023 අවසානය වන විට උපාය මාර්ගික රාජ්‍ය ව්‍යාපාර 41ක වගකීම් රුපියල් ට්‍රිලියන 3.2ක්, එනම් රුපියල් බිලියන 3,200ක් පමණ විය. එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 11.7කට පමණ සමානය. එයින් සියයට 90කට ආසන්න කොටසක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ප්‍රධාන ආයතන පහකට සම්බන්ධ විය. මේවා හුදු ගිණුම්කරණ සටහන් නොවේ. ඒවා ඊයේ ගත් ප්‍රතිපත්ති තීරණවලින් හෙට දවසට තල්ලු‍ කළ අති විශාල බිල්පත්ය.

මෙම අලාභ ලබමින් සිටි රාජ්‍ය ව්‍යාපාරවලින් බොහෝමයක් අද ලාභ වාර්තා කරමින් සිටීමෙන් පෙනෙන්නේ, එම ආයතන අනාගත පරපුරට පැවරෙන රාජ්‍ය මූල්‍ය බරක් ලෙස පවත්වාගෙන යාමේ අවදානම ක්‍රමානුකූලව අඩුවෙමින් ඇති බවය. එය වත්මන් ආර්ථික කළමනාකරණයේ මූල්‍ය විනය සහ ප්‍රතිසංස්කරණ දිශාව පෙන්වන වැදගත් සංඥාවකි.

මෙහි ඇති දේශපාලන පරස්පරතාව ද නොසලකා හැරිය නොහැකිය. රාජ්‍ය ව්‍යාපාරවලට පාඩු උරුම කළ, මහජන ණය කඳු ගොඩනැගූ සහ පිරිවැය නොපෙන්වන සහනාධාර දේශපාලනයක් පවත්වාගෙන ගිය බලවේග අද නැවතත් “රට ගොඩනගන” බලයත්, “වහාම සහන”ත් ඉල්ලා සිටීම අතිශය පරස්පර සහ ගැටලු‍කාරීය. අද ජනතාව ගෙවන්නේ වසර ගණනාවක මූල්‍ය අවනීතියේ මිලය. නිෂ්පාදනශීලී ආයෝජන සහ අනාගත වර්ධනය සඳහා යොදාගන්නා විට ණය ගැනීම වැරැදි නොවේ. එහෙත් වත්මන් පරිභෝජනයට ණය ගැනීම හෝ රාජ්‍ය ව්‍යාපාර පාඩු එකතු කිරීම අනාගත පරම්පරාවල රාජ්‍ය මූල්‍ය අවකාශය අදම පරිභෝජනය කිරීමකි.

 

ස්ථාවර මාවත

මහ බැංකුවේ නව විනිමය සීමා සහ පොලී අනුපාත ඉහළ දැමීම ආර්ථික බිඳ වැටීමක ලක්ෂණ නොව, විනිමය හා උද්ධමන අවදානම් පාලනයට ගත් තාවකාලික ආරක්ෂක පියවරය. එලෙසම 2026 පළමු කාර්තුවේ රාජ්‍ය මූල්‍ය ප්‍රගතිය, නිසි පරිදි සිදුවන ණය ගෙවීම් සහ සැබෑ ආර්ථික වර්ධනය සාක්ෂි දරන්නේ රාජ්‍ය මූල්‍ය විනයේ සැබෑ ශක්තියයි. විශේෂයෙන්ම, 2025 දිට්වා කුණාටුවේ ඩොලර් බිලියන 4ක දැවැන්ත හානිය හමුවේ ජන ජීවිතය ඇතුළු සාර්ව ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමටත්, ගෝලීය තෙල් මිල අර්බුදයේ කම්පන සාර්ථකව අවශෝෂණය කර ගැනීමටත් රාජ්‍යයට හැකිවීමෙන් පෙන්නුම් කරන්නේ රට සතු ඉහළ ඔරොත්තු දීමේ ධාරිතාවයි (Fiscal resilience). මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ආර්ථිකය කඩා වැටීමකට නොව, ස්ථාවර සහ ශක්තිමත් ගමනකට අවතීර්ණ වී ඇති බවයි.

ඉරාන-ඇමරිකා ආතතීන් ලිහිල් වීමෙන් 2027 දී ලෝක තෙල් වෙළෙඳපොළ අතිරික්තයක් වන බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය කරන පුරෝකථනය ශ්‍රී ලංකාවට ඉතා හිතකරය. තෙල් මිල අඩුවීම විදේශ විනිමය පීඩනය, උද්ධමනය සහ පොලී අනුපාත ලිහිල් කිරීමට හේතු වේ. එමෙන්ම, 2030 වන විට විදුලියෙන් සියයට 70ක් පුනර්ජනනීය මූලාශ්‍රවලින් ජනනය කිරීමේ ඉලක්කය යටතේ, 2026 දී සුළං සහ සූර්ය බලයෙන් මෙගාවොට් 400ක ධාරිතාවක් පද්ධතියට එකතු කිරීම ද නිෂ්පාදන පිරිවැය, විදුලි බිල සහ ආනයන බර අඩු කරමින් ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරයි.

තිරසාර සුබසාධනයේ සැබෑ අර්ථය වන්නේ, අනාගත පරපුරට අසාධාරණ බිල්පතක් ඉතිරි නොකර, පුරවැසියන්ට දුන් පොරොන්දු ඉටුකළ හැකි රාජ්‍යයක් නැවත ගොඩ නැගීමය. එම උත්කෘෂ්ට ඉලක්කය සපුරා ගැනීම සඳහා වත්මන් රජය පෙන්වන මූල්‍ය විනය, ප්‍රතිසංස්කරණ කැපවීම සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය අඛණ්ඩව ඉදිරියටම රඳවා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව

පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චන්දික ගුණසිංහ