ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන සම්බන්ධයෙන් යෝජිත පනත (තාවකාලික) ළඟදීම ඉදිරිපත් කිරීමට අදහස් කිරීම වැදගත් කරුණකි. ඊට හේතුව දශක කිහිපයක පටන්ම මෙම පනත හේතුවෙන් සමාජය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලැබූ අත්දැකීම් අනුව සාමාන්‍ය සමාජයේ පමණක් නොව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තුළ පවා මේ පිළිබඳව පූර්ණ එකඟත්වයක් නොමැති නිසාය.

මීට දශක කිහිපයකට පෙර පොලිස් ස්ථානවල සාමාන්‍යයෙන් දැකිය හැකි කරුණක් නම් එවකට තිබූ අවි ආයුධ වර්ග සිටුවන ලද රැඳවුමක තබා දම්වැල් දමා එක පෙළට ඉබි යතුරු දමා තැබීමය. නැතහොත් විශේෂ කාමරයක ඉබි යතුරු දමා ආරක්ෂිතව තැබීමය. ආයුධ පාවිච්චි කිරීමට නිල බලය ලබා තිබියදීත් මෙසේ බැඳ තැබීම පාසල් වියේ සිටි අපට මහත් ගැටලු‍වක් වූ අතර එහි මූලික පරමාර්ථය තේරුම් ගත්තේ ඊට දශක කිහිපයකටත් පසුවය. එනම් කොතරම් බලයක් දී තිබුණ ද එය භාවිත කළ යුතුව ඇත්තේ අත්‍යවශ්‍යම හා නොවැළැක්විය හැකිම කාරණාවකට පමණක්ම බව එහි ඇඟවුම විය. මේ නිසා එදා ආයුධයකින් සාමාන්‍ය ජනතාවට පමණක් නොව අපරාධකරුවන්ට ද අනවශ්‍ය කරදරයක් නොවීය.

ආයුධ පරිහරණය සම්බන්ධයෙන් එවන් දැඩි නීතිරීති තිබුණු තත්වයක් තුළ ඊට පසු දශකවලදී දැකිය හැකි වූයේ ලොකු කුඩා සෑම පොලිස් නිලධාරියකුගේම ඉනේ එල්ලාගත් පිස්තෝලයක් දක්වා රූපාන්තරණය වීමය. මේ තත්වය පිළිබඳව සමාජයේ ද කිසිදු මතභේදයක් නොවූයේ සමාජය ද එය සාධාරණීකරණය කළ නිසා විය හැකිය. එනම් කලින් කලට සමාජය සංකීර්ණ වීමත් ඒ හේතුවෙන් අපරාධ වැඩිවීමත් එවිට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට නිලධාරියකුට සාධාරණ ඉඩකඩක් තිබිය යුතු නිසාය. නොවැළැක්විය හැකි විශේෂිත තත්වයක් යටතේ ඉදිරියටත් මීටත් වඩා අණ පනත් ඒමට ඉඩ ඇත. ඒවා පූර්ව නිගමනය කළ නොහැකිය. උදාහරණයක් වශයෙන් මේ වන විටත් අනතුරු අඟවා ඇති එල්නිනෝ දේශගුණික තත්වය හමුවේ ඇතිවන නියඟය සම්බන්ධයෙන් තමන්ගේ පෞද්ගලික ජලය පරිහණය පවා සීමා සහිත විය හැකිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ විධි විධාන පනත (තාවකාලික) සම්බන්ධයෙන් ද අප සලකා බැලිය යුත්තේ මෙවන් සන්දර්භයක් තුළය. එනම් වේගයෙන් වෙනස් වන සමාජයක යහපත් ලක්ෂණ මෙන්ම අයහපත් ලක්ෂණ ද විවිධ ස්වරූපයෙන් මතුවන නිසාය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එවැනි ගැටලු‍වල දී කලින් කලට මුහුණ දීමට සිදුවන්නේ ද විවිධ ස්වරූපයෙනි. මේ අනුව උක්ත පනත පනවා ඇත්තේ ද මූලික වශයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නීත්‍යනුකූල මැදිහත්වීමක් අපේක්ෂාවෙනි. අනිත් අතට මේ මොහොත වන විට තාක්ෂණික ලෝකයේ අපරාධ වැඩිවෙමින් පවතින අතර ඒවාට ද කාලානුරූපීව සම්බන්ධ විය යුතු කාලයකි මේ එළැඹ තිබෙන්නේ. දැනටමත් දශක කිහිපයක් තුළ සිටම ක්‍රියාත්මක වන මෙම පනත හා ඉදිරියේ දී මේ පිළිබඳව ඉදිරිපත් කිරීමට යෝජිත පනත පිළිබඳව මේ වන විටත් සබුද්ධික ජනතාව, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, උගතුන්, උනන්දුවක් දක්වන පිරිස් කිසියම් මට්ටමකින් මේ පිළිබඳව පක්ෂ විපක්ෂ මතවාද ඉදිරිපත් කරන බව දිනපතා මාධ්‍යවලින් දැකිය හැකිය. විශේෂයෙන්ම දශක කිහිපයක් තුළ මෙම පනතේ ප්‍රායෝගික පරිහරණය පිළිබඳ අත්දැකීම් ද මීට හේතු වන්නට ඇත. එක් පාර්ශ්වයක මතය මෙම පනත සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු බවය. අනෙක් පාර්ශ්වයේ තර්කය නම් මෙම පනත කඩිමුඩියේ සම්මත කිරීමකට වඩා සමස්ත සමාජයේ බරපතළ සාකච්ඡාවකට ලක් කර ඉදිරිපත් කළ යුතු බවය.

“සෑම බැටළු ගාලකම කළු බැටළුවෙක් සිටී” යන්න ඉංග්‍රීසි ප්‍රස්ථා පිරුළක් ඇත. එනම් සෑම සමාජයක, කුලකයකම කළු චරිත ඇති බවය. ඊට උස් මිටිකම්, උගත් නූගත්, දුප්පත්, පොහොසත් තනතුරු තානාන්තර ජාති ආගම් කුලමල අදාළම නැත. වසර මිලියන කිහිපයක ඉතිහාසයක් ඇති හෝමෝසේෆියන් මානවයා යම් මට්ටමක හෝ සමාජයට අවතීර්ණ වී යාන්තම් වසර දස දහසකට වඩා නැත. එතෙක් වසර මිලියන ගණනක් වනචාරීව සිටි මානවයාට තම අපේක්ෂා හා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වූ නිසා ඔහුගේ මොළයේ මෙග්ඩාල් නම් කොටසක් නිර්මාණය වූ අතර එය පරිමාවෙන් විශාල වූ නමුත් නූතන මානවයාට එවන් තත්වයක් නොමැති නිසා එම මෙග්ඩාල් කොටස් කුඩා වී ගිය ද එහෙත් තවමත් සම්පූර්ණයෙන්ම නිශේධනය වී නොමැත. ශීලාචාර වීමේ ප්‍රමාණය මත එම කොටස කුඩා වන බවයි වෛද්‍ය මතය වී තිබෙන්නේ. අද සමාජයේ පවා අඩුවැඩි වශයෙන් ආවේගශීලී ප්‍රතිචාර තවමත් දැකිය හැකි වන්නේ මේ නිසාය. එම නිසා සමාජයේ සියලු‍ දෙනාම කරන කියන දේ සුදෝ සුදුම විය නොහැකි අතර යම් යම් අරමුණු ද නොතිබීමට නොහැකියාවක් ද නැත. එනම් අපගේ සියලු‍ කටයුතුවලදී ප්‍රඥාව ඉස්මතු නොවීම තුළ ශීලාචාර සමාජයකට අවශ්‍ය ගුණාංග ද ඉස්මතු නොවීමය. මේ වනවිටත් දශක ගණනාවක් තිස්සේ මෙම පනතින් ඵල ප්‍රයෝජන නොගත් පාර්ශ්වයක් නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ විධි විධාන පනත (තාවකාලික) සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී ඇති පක්ෂ විපක්ෂ මතවාද සුළුවෙන් බැහැර කළ නොහැකිය. බොහෝ දෙනාගේ පොදු සාධකය නම් පනතක් තිබිය යුතු නමුත් එය ජාත්‍යන්තර සංවිධාන පිළිගත් නිර්නායක, ප්‍රඥප්ති ඉක්මවා නොගොස් ඊට අනුකූලව නිර්ණායක සකස් කළ යුතු බවය. ඊට හේතුව මේ වන විටත් විශේෂයෙන්ම මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් එනම් බටහිර රටක 19 සියවසේ සමාජයට පනවා ඇති නීති 21 වැනි සියවසට කිසිසේත් නොගැලපෙන අතර එය යථාවත් කළ යුතු බවය. විශේෂයෙන්ම චූදිතයාගේ අයිතිවාසිකම් ඔහුගේ අපරාධයේ ස්වරූපය අතර සමතුලිතතාවක් අවශ්‍ය බවය. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස අනුව මෙම නීතිය හුදෙක් විධායකයට යටත් වන අතර අධිකරණයට මැදිහත් වීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම වන බවය. මේ නිසා එය මිනිස් අයිතිවාසිකම් පැත්තෙන් සාධාරණ නොවන බව හා විධායකයේ ගෞරවයට හානියක් බවය. උදාහරණ වශයෙන් රැඳවුම් නියෝග වැනි කාරණාවල කාලසීමාව නිශ්චිත නොවීම, සුපරීක්ෂණයක් නොමැතිවීම අඩුපාඩුවක් බවය. අනෙක් අතට පාපොච්චාරණයට ලැබී ඇති අසීමිත බලය කිසිසේත් සාධාරණ නොවන බවය. විශේෂයෙන්ම මෙම පනත තරුණ නැගිටීම් මුල් කරගෙන ආරම්භ කරන ලද පනතක් වුවත් එවැනි නැගිටීමක් නොමැති මොහොතක තවදුරටත් තිබිය යුතු නැති බවට ද තවත් තර්කයකි. එමෙන්ම රැඳවුම්කරු සමග සම්බන්ධ වීමට පවුලේ ඥාතීන්ට තබා නීතිඥයන්ට පවා ඇති ඉඩකඩ සීමා සහිත අතර එය ද නිලධාරීන් ඉදිරියේ දී කිරීම මිනිස් අයිතිවාසිකම්වලට නොගැලපෙන හා නූතන දියුණු සමාජයකට නොගැලපෙන බවට තර්කයකි. රැඳවුම් නියෝග මත වින්දිතයන් වෙනම ස්ථානයක රැඳවීම එවන් පරිසරයක් තුළ මානසික පීඩනයකට ලක්වන බවත් එබැවින් රැඳවුම් ස්ථාන හා කාලය ගැසට් කළ යුතු බවත්ය. අනෙක් අතට රැඳවුම් නියෝග නීති ක්ෂේත්‍රයේ සාමාන්‍ය ධූරාවලියෙන් ඔබ්බට ඇති බැවින් අනර්ථයක් සිදුවීමට ඉඩ ඇති බවය.

පාපොච්චාරණය සඳහා දැනට පවතින බලය අසීමිත වී ඇති බැවින් යම් වින්දිතයකු ඒ අනුව වසර 10-15 රඳවා අවසානයේ නිදහස් වුවහොත් එතෙක් ඔහුට මුහුණ දීමට සිදුවූ තත්වයට වගකීමක් නැතිවීම කොතෙක් දුරට සාධාරණ ද යන්න ගැටලු‍වක් බවය. එනිසා රැඳවුම් කාලය සීමා කළ යුතු අතර මේ සඳහා වෙනම අධිකරණයක් ආරම්භ කිරීමෙන් මේ ගැටලු‍ව පහසුවෙන් විසඳා ගත හැකි බවත්ය. අනිත් අතට අත්අඩංගුවට ගැනීම් වැනි කාරණාවල දී පොලිසියට පමණක් බලය තිබිය යුතු තත්වය තුළ වෙනත් අංශ වෙත පැවරීමෙන් අගතියක් වන බවට ද තවත් අදහසකි. ත්‍රස්තවාදය නිසි පරිදි අර්ථ නිරූපණය කර මෙම පනත ඒ සඳහාම පමණක් සීමා කරගත යුතු බවට ද තර්කයකි. නීති ක්ෂේත්‍රයේ ප්‍රබල තර්කයක් නම් විත්තිකරුට වරද පැහැදිලි කර දීමත් ඒ සමගම නීතිඥ සහායට ඉඩ ප්‍රස්ථාව දීමත් වත්මන් දියුණු සමාජයේ තිබිය යුතු ලක්ෂණයක් බවය.

අනෙක් පාර්ශ්වයේ තර්කය නම් මෙවැනි අණ පනත් තිබීම යුගයේ අවශ්‍යතාවක් බවත් එබැවින් පාකිස්තානය, ඉන්දියාව, මැලේසියාව, බංගලාදේශය වැනි රටවල් පමණක් නොව නෝර්වේ වැනි දියුණු රටවල ද මෙවැනි පනත් තිබෙන බවත් ඒවා අවශ්‍යතා අනුව කලින් කළ සංශෝධනය වන අතර සම්පූර්ණයෙන්ම නිශේධනය කිරීම අදූරදර්ශී ක්‍රියාවක් බවය. එබැවින් අවශ්‍ය නම් යම් යම් සංශෝධනයට ලක්කර අවශ්‍ය අවස්ථාවලදී පමණක් ප්‍රයෝජනයට ගත හැකි පරිදි තිබිය යුතු බවත්ය.

එම නිසා පනත සම්බන්ධයෙන් සමාජයේ පක්ෂ විපක්ෂ මත කිසිසේත් බැහැර කළ නොහැකි අතර මේ සෑම මතයකම ප්‍රයෝජනයට ගත යුත්තක් ඇති බව මේ අනුව පෙනේ. එමෙන්ම මෙවැනි පනතක් අනවශ්‍ය බවට කිසිවෙක් තර්ක කරන්නේ ද නැත. එහෙත් ඉල්ලීම වන්නේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර නීති ප්‍රඥප්තිවලට යටත්ව තිබීමෙන් වින්දිතයාට ද සාධාරණය ඉටුවන බවය. එම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සිදුවූ ඇබැද්දිය වීමට ඉඩ නොදී කඩිමුඩියේ සම්මත නොකර පක්ෂ විපක්ෂ සමාජයේ උගතුන් උනන්දුවක් දක්වන පිරිස් සඳහා වේදිකාවක් නිර්මාණය කර හරවත් සාකච්ඡාවකට ගොස් සියලු‍ දෙනාගේ ආශිර්වාදයෙන් දියුණු සමාජයකට ගැලපෙන පනතක් සම්මත කිරීම සුදුසු බවය. මෙවැනි පනතක් මීට පෙර දෙවතාවක්ම ඉවත් කර ගත්තේ ද මෙවැනි වේදිකාවක් නිර්මාණය නොවීම නිසාය. එම නිසා මේ පනත දෙස තාක්ෂණික අංශයෙන් පමණක් නොව බුද්ධිමය හා දාර්ශනික ප්‍රවේශයකින් ද බැලීම යහපත්ය. මක් නිසාද යත් මානවයා නීතියට ගරු කරන්නේ දඬුවමට ඇති බිය නිසා බව දාර්ශනික අදහසක් ද ඇති බැවිනි. දශක ගණනාවක් තුළදී ලැබූ අත්දැකීම් අනුව යහපත් පනතක් සම්මත කර ගතහොත් නීති ක්ෂේත්‍රයේ එය ඓතිහාසික සන්ධිස්ථානයක් වන අතර ඊට අනුශාංගික වූ සියලු‍ දෙනාටම ඊට උරුමකම් කීමට ද හැකි වනු ඇත. කොටින්ම කියතොත් සෑම අණ පනතක්ම නීති ක්ෂේත්‍රයේ හා අධිකරණයේ ගෞරවයට හා විශ්වසනීයත්වයට හානියක් නොවීමට වගබලා ගත යුතු බවය. එසේ නොවුණහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් අධ්‍යයන ප්‍රතිසංස්කරණ යෝජනාවලට මුහුණ දීමට සිදුවූ කලබගෑනියට දෙවැනි නොවනු ඇත.

 

(***)