වර්තමාන ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තිවල ප්‍රධාන ගමන් මාර්ගයක් ලෙස, ශ්‍රමය බලහත්කාරයෙන් භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ආනයනය කිරීම වැළැක්වීමට එරෙහිව කටයුතු කිරීම කැපී පෙනෙයි. මෙහිදී ඇ​ෙමරිකා එක්සත් ජනපදය ලොව බලගතුම සහ ක්‍රියාකාරී ආනයන තහනම් කිරීමේ ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස හැඳින්විය හැක. ඔවුන් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිපත්තිවල හරය වශයෙන් 1930 තීරුබදු පනතේ (Tariff Act) 307 වගන්තිය දැක්විය හැකිය.

එමගින් ශ්‍රමය බලහත්කාරයෙන් යොදවා නිපදවන ලද භාණ්ඩ එක්සත් ජනපද වරායන් වෙත ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. මෙමගින් ශ්‍රමය බලහත්කාරයෙන් යොදවා ගැනීම පිළිබඳ ආමන්ත්‍රණය කිරීම මානුෂීය කාරණයක් පමණක් නොව, එක්සත් ජනපද ආර්ථික හා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛ වන්නක් බව අවධාරණය කරනු ලබයි.

මීට අමතරව, 2021 උයිගර් බලෙන් වැඩ කරවීම වැළැක්වීමේ පනත (Uyghur Forced Labour Prevention Act - UFLPA)  හඳුන්වාදීමත් සමග එක්සත් ජනපදය එහි ප්‍රවේශය තවත් ශක්තිමත් කරන ලදී. මෙම පනත යටතේ, ෂින්ජියැන්ග් ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් හෝ අඩක් නිමි වශයෙන් පැමිණෙන භාණ්ඩ නිෂ්පාදනය සඳහා ශ්‍රමය බලහත්කාරයෙන් යොදාවා ඇති බවට උපකල්පනය කිරීම හරහා ඒවා ආනයනය කිරීම නවතා දමන ලදී. 2025-2026 කාලය තුළ, එක්සත් ජනපද රේගු හා දේශසීමා ආරක්ෂක ආයතනය සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (The Office of the U.S. Trade Representative – USTR) මෙම නීති බලාත්මක කිරීම වේගවත් කර ඇත. 2026 මාර්තු මාසයේ දී, USTR විසින් දැවැන්ත වෙළෙඳ ප්‍රතිපත්ති පරීක්ෂාවක් 301 වැනි වගන්තිය යටතේ ආරම්භ කරන ලදී. මෙම පරීක්ෂාව මගින් සිය වෙළෙඳපොළ භාණ්ඩ සපයන රටවල් 60ක් ‘ශ්‍රමය බලෙන් යොදාවා නිපදවන ලද භාණ්ඩ’ ඇතුළු වීම වැළැක්වීමට ප්‍රමාණවත් නීති සම්පාදනය කර ඒවා ඵලදායී ලෙස බලාත්මක කිරීමට අසමත් වී ඇති බව හඳුනා ගන්නා ලදී.

මෙම ගෝලීය වෙළෙඳ පසුබිම ශ්‍රී ලංකාවට සෘජු හා බරපතළ ප්‍රතිවිපාක ඇති කර තිබේ. එක්සත් ජනපද ආනයන වෙළෙඳපොළ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක් සැලකිය යුතු තරගකාරීත්වයක් පෙන්නුම් කරනු ලබයි. විශේෂයෙන් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45 ක් සඳහා අමතර සියයට 10 හෝ සියයට 12.5 ක බදු අය කිරීමට යෝජනා කර ඇති අතර, එයින් ශ්‍රී ලංකාවට අදාළ වන්නේ සියයට 12.5 ක අමතර බද්දකි. එයට හේතු වනුයේ USTR හි තීරණයට අනුව, ශ්‍රී ලංකාව ශ්‍රමය බලහත්කාරයෙන් යොදාවා නිපදවන භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමක් හෝ ඒ සඳහා අදාළ වන නීතිරීති ඵලදායී ලෙස බලාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී ඇති බැවිනි.

මෙම තීරණය ශ්‍රී ලංකාව කෙරෙහි වඩාත් අහිතකර බලපෑම් ඇති කිරීමට සමත්ව ඇත. එයට හේතු වනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශ වන ඇගලුම්, තේ, රබර්, මැණික් සහ කුරුඳු සඳහා එක්සත් ජනපදය වඩාත් යෝග්‍ය ලාබදායීම හා උපාය මාර්ගිකම වෙළෙඳපොළක් වීම නිසාය. විශේෂයෙන්ම, සදාචාරාත්මක නිෂ්පාදන රීති පිළිපැදීම සඳහා විශාල කීර්තියක් ගොඩනගාගෙන ඇති ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය, මෙම අධික බදු පැනවීම නිසා ඇෙමරිකානු වෙළෙඳපොළේ ඇති තරගකාරී වාසිය විශාල ලෙස අහිමි වීමේ අවදානමකට මුහුණ පා ඇත.

 

ශ්‍රී ලංකාවේ දේශීය නීති රාමුව

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සලකා බලන විට දේශීය වශයෙන් පවා ඇති නීති හමුවේ එක්සත් ජනපදයෙන් ශ්‍රමය බලහත්කාරයෙන් යෙදවීම සම්බන්ධයෙන් යම් කිසි නීතිමය සහනයක් අපේක්ෂා කළ හැකි පසුබිමක් නිරූපණය කරනු ලබයි. මක් නිසාද යත් ශ්‍රී ලංකාව 1950 දී අංක 29 (1930) සම්මුතිය සහ 2003 දී අංක 105 (1957) සම්මුතිය අනුමත කරන ලදී. එසේම 2019 දී 2014 ප්‍රොටෝකෝලය (P29) අනුමත කරන ලදී. දේශීය වශයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රමය බලහත්කාරයෙන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන විධිවිධාන අඩංගු වන අතර, දණ්ඩ නීති සංග්‍රහයේ වසර 20 ක් දක්වා සිර දඬුවම් නියම කෙරේ (ළමයකු සම්බන්ධ නම් වසර 30 දක්වා දීර්ඝ කළ හැකිය). මීට අමතරව ශ්‍රී ලංකා රජය කම්කරු පරීක්ෂකවරුන් පුහුණු කිරීම, 2025 ජූලි මාසයේ දී ළමා කම්කරුවන්ට එරෙහි දැඩි රෙගුලාසි බලාත්මක කිරීම වැනි ප්‍රගතිශීලී පියවර ද ගෙන තිබේ. ඒ අනුව පැහැදිලි වනුයේ එක්සත් ජනපද විමර්ශනවල දී මෙම විධිවිධාන ශ්‍රී ලංකාවට වාසිදායක කරුණු ගොනු කිරීමකට මග පාදනු ඇති බවය.

මෙම කරුණු සමගින්, ශ්‍රී ලංකාවට ශ්‍රමය බලහත්කාරයේන් යොදවා ගැනීම පිළිබඳ ප්‍රශ්න දෙකක් උද්ගත වීඇති බව පැහැදිලි වේ. ඉන් පළමුවැන්න වනුයේ සැබෑ වශයෙන් ලංකාවේ  ශ්‍රමය බලහත්කාරයෙන් යොදවා ගැනීමේ ප්‍රමාණයයි. දෙවැන්න වනුයේ ඇමරිකානු බදු පීඩනයට මුහුණ දීමට සහ සම්බාධකවලින් මිදීමට ශ්‍රී ලංකාවට ගත හැකි පියවර හඳුනා ගැනීමයි.

විශේෂයෙන්ම මෙම ඇමරිකානු තීරණයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ, ශ්‍රී ලංකාවේ වතුකරයේ ජීවත්වන දමිළ ජනතාව මුහුණ දෙන තත්වයයි. මෙම කම්කරුවන් ණය චක්‍රයක සිරවී සිටින බව දක්වයි. එනම්, අතිශයින් අඩු වැටුප් හේතුවෙන් ඔවුන් සේවායෝජකයා සපයන නිවාස හා මූලික භාණ්ඩ සඳහා භාවිතයටත් ඒ හරහා ණය ලබා ගැනීමටත් යොමු වන අතර ඒ හරහා දිගින් දිගටම ණය උගුලකට හසුවන බවත් දක්වා ඇත. ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවලට අනුව, මෙය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රමය බලෙන් යොදවා ගැනීමේ නිර්වචනයට සම්පූර්ණයෙන්ම ගැළපෙන තත්වයකි.

එසේම ශ්‍රී ලංකාව යනු විශාල වශයෙන් පුහුණු නොපුහුණු ශ්‍රමිකයන් අපනයන සිදු කරන රටකි. මෙම ක්‍රියාවලියේ දී, විශේෂයෙන් මැදපෙරදිග රටවල සේවය කරන කාන්තා ගෘහ සේවිකාවෝ විශාල අවදානමකට මුහුණ දෙති. බඳවා ගැනීමේ නියෝජිතයන් ඔවුන්ගෙන් අය කරන අධික ගාස්තු නිසා ඔවුන් විශාල වශයෙන් ණය ගැනීම්වලට යොමු වී අසරණ භාවයට පත්වීමෙන් ආරම්භවන ගැටලු දාමය විදේශගත වූ පසු, වැටුප් සොරකම් කිරීම, විදේශ ගමන් බලපත්‍ර රඳවා තබා ගැනීම සහ අපයෝජන ආදිය දක්වා ව්‍යාප්ත වේ.

එහෙත් ළමා කම්කරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තරමක් ප්‍රගතිශීලී ස්ථානයක පසුවීම පැසසුමට ලක් කළ යුතු කාරණයකි. ශ්‍රී ලංකා නීතිය අනුව අවුරුදු 16 ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම් වන අතර අනතුරුදායක රැකියා ලැයිස්තුව 71ක් දක්වා පුළුල් කිරීම හරහා ළමයින් සේවා නියුක්ත කිරීමේ නීති දැඩිකර ඇත. එසේම 2025 ජූලි මාසයේ දී ලංකා රජය විසින් අවුරුදු 16 ට අඩු ළමයින් සිඟමන් යැදීමට හෝ මහා මාර්ගවල වෙළෙඳාම් කිරීමට භාවිත කිරීම දැඩි ලෙස තහනම් කරන ලදී. කෙසේ වෙතත්, අවධානය යොමු කළ යුතු විශේෂිතම කරුණ වනුයේ දරිද්‍රතාව හේතුවෙන් තවමත් බොහෝ ළමයින් අවිධිමත් අංශයේ සේවයේ නියුක්ත වන අතර ඔවුන් ශ්‍රම සූරා කෑම අඩු වැටුප් ලැබීම, අපයෝජනයට ලක්වීම වැනි අසාධාරණයන්ට තවමත් ලක්වන බවයි.

 

ශ්‍රමය බලහත්කාරයෙන් යොදවා ගැනීම කෙරෙහි ලාංකීය ප්‍රතිචාර සහ අනාගත මාවත

වර්තමාන ගෝලීය පසුබිම සැලකිල්ලට ගනිමින් ඇෙමරිකානු බදු තර්ජනයට මුහුණ දීම සඳහා, ශ්‍රී ලංකා රජය කළ යුතු ප්‍රධාන පියවර කිහිපයක් හඳුනාගත හැකිය. මෙහිදී

1. මූලික වශයෙන් නීති බලාත්මක කිරීම සහ ඒවා ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. උදාහරණ ලෙස මෙතෙක් බලාත්මක වී නොමැති හෝ ලිහිල් භාවයක් පවතින නීති හඳුනා ගනිමින් ඒවා බලාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමත්, කම්කරු පරීක්ෂකවරුන් වැඩි කිරීම සහ නිසි පුහුණුවක් ලබාදීම වැනි දෑ ප්‍රමුඛ වේ.

2. වින්දිතයන්  ආරක්ෂා කර ගැනීම: මෙහි දී යම් ගැටලුවකට මුහුණ පා සිටින හඳුනාගත් වින්දිතයන් සඳහා නවාතැන්, වෛද්‍ය සහ නීතිමය සහාය ලබාදීමත් ඒ සඳහා අවශ්‍ය පරිසරය හෙවත් නෛතිකමය පසුබිම් සකස් කිරීමත්, අවශ්‍ය පහසුකම් සැලසීමත් වඩාත් වැදගත්ය.

3. බඳවා ගැනීමේ නියෝජිත රෙගුලාසි: මෙහි දී සංක්‍රමණික කම්කරුවන්ගෙන් අය කරන සියලු ගාස්තු අහෝසි කිරීම සහ ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා වඩාත් යෝග්‍ය පහසු ක්‍රමවේද හඳුන්වා දීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

4. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම: වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික මෙන්ම සාමාජීය ගැටලු හමුවේ රාජ්‍ය ත්‍රාන්තික මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කම්කරු අයිතිවාසිකම් හා ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබේ. සේවකයන් සූරාකෑම වැළැක්වීම, වින්දිතයන්ට ආරක්ෂාව සැපයීම සහ නීතිය බලාත්මක කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. තවද, 2025 සිට ළමා ශ්‍රමය සහ අවදානම්කාරී රැකියා සඳහා දරුවන් යොදා ගැනීම තවදුරටත් දැඩි ලෙස තහනම් කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒමගින් දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ මූලික අයිතිවාසිකම් වඩාත් හොඳින් ආරක්ෂා කිරීමට හැකි වී තිබේ. මෙම ප්‍රගතිශීලී ප්‍රතිපත්ති හා නීතිමය ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවට කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගකීම් සහගත සැපයුම් දාම පවත්වාගෙන යාම සහ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රමිති සපුරාලීම සඳහා ඇති හැකියාව පැහැදිලිව පෙන්නුම් කරයි. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ හවුල්කරුවන් හා ආයෝජකයන් අතර ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම පියවර දායක වේ.

මේ අනුව එක්සත් ජනපදය විසින් ශ්‍රමය බලහත්කාරයෙන් යෙදවීම මුලිනුපුටා දැමීමේ ගෝලීය ප්‍රයත්නයක කොටසක් ලෙස ගනු ලබන මෙම බදු පියවර, ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල අභියෝගයක් එල්ල කර ඇත. එහෙත් ඒ සමගම, දශක ගණනාවක් තිස්සේ පැවත එන ශ්‍රමය බලහත්කාරයෙන් යෙදවීමේ ගැටලු සහ දේශීය නීති පද්ධතියේ පවතින හිඩැස් නිවැරැදි කර ගැනීමට ද අවස්ථාවක් සපයා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළ වෙත විශේෂයෙන්ම එක්සත් ජනපදයේ වෙළෙඳපොළට නිෂ්පාදන ඉදිරිපත් කිරීමට නම් ගෝලීය ප්‍රතිපත්තිවලට දැඩි ලෙස අනුගත වීමේ ආවශ්‍යතාව මේ හරහා පැහැදිලි වේ. එසේම පැහැදිලි වනුයේ දැඩි නීති තිබියදීත් බලාත්මක නොකිරීම හෝ පද්ධතිමය දුර්වලතා පවතින තෙක්, විදේශීය රටවල වෙළෙඳ සම්බාධකවලින් මෙරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් එය දැනට පවතින අර්බුධකාරී ස්වරූපය තව දුරටත් තීව්‍ර කරනු ඇති බවත්ය. ඒ අනුව  ශ්‍රී ලංකාව සැබෑ ලෙසම “ශ්‍රමය බලහත්කාරයෙන් යොදවා ගැනීමෙන් තොර රටක්’ බවට පත්කිරීම අත්‍යවශ්‍ය වන අතර එයින් ලංකාවට ගෝලීය වෙළෙඳපොළෙහි තිරසාර තරගකාරීත්වයක් සහතික කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වනු ඇත.

(***)